YMBA Logo

කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතිය

Kiribathgoda Kelani Young Men's Buddhist Association

අපගේ උරුමය

කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සමිතියේ ඉතිහාසය

67
සේවා වසර
1959
ආරම්භය
ලංකාවේ බෞද්ධ සමිති ඉතිහාසය
පරම විඥානාර්ථ සමිතිය
ලංකාවේ මුලින්ම පිහිටවූ බෞද්ධ සමිතිය (1880 ජූනි 17 දා) පරම විඥානාර්ථ බෞද්ධ සමාගමයි. කොළඹ මැලිබන් වීදියේ අංක 54 දරණ ස්ථානයේදී සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට්, හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, අනගාරික ධර්මපාල වැනි බෞද්ධ නායකයෝ මෙයට පුරෝගාමී වූහ.
බුදු දහම පෝෂණය කරමින් ව්‍යාප්ත කිරීම රටපුරා දහම් පාසල් පිහිටුවා පාලි භාෂාව, අභිධර්මය ඉගැන්වීම කුලදරුවන් පැවිදිකොට භික්ෂූන් උදෙසා පුහුණු පාසල් ඇති කිරීම, බෞද්ධ සංස්කෘතිය සාහිත්‍ය හා කලාව ප්‍රවර්ධනය කිරීම, බෞද්ධයින්ගේ සදාචාර හා සමාජ තත්ත්වයන් වැඩිදියුණු කිරීම, අනාථ නිවාස, මහළු නිවාස, පිහිටුවීම, හදිසි ආපදාවලදී පිහිටවීම හා පෙර පාසල් ක්‍රමයක් ඇති කිරීම මෙහි පරමාර්ථ අතර විය.
ඒ අනුව 1886 නොවැම්බර් 01 දා ප්‍රථම බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව මැලිබන් වීදියේම ආරම්භ කරන ලදී. ලෙඩ් බීටර් මහත‍ා ප්‍රථම විදුහල්පතිවරයා ලෙස පත්වීය. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන මධ්‍යස්ථානය වන ආනන්ද විද්‍යාලය බවට පත්වූයේද එයයි. ඉඩකඩ මදිකම නිසා මරදානට ගෙන යන ලදී. ලෙඩ් බීටර් මහතා 1988.11.28 රටින් පිටවූ පසු විදුහල්පති වූයේ ඒ.ඊ.බුල්ජන්ස් මහතාය. මෙතුමා අ‍ානන්දයේ ප්‍රථම ලාංකික විදුහල්පතිවරයාය.
ක‍ාන්තා බෞද්ධ සංගමය
1989 මාර්තු 24 දා පළමුවරට ‍බෞද්ධ ක‍ාන්තා සංගමයක් "නාරි ශිික්ෂා දාන සමිතිය" නමින් පිහිටුවාගත්හ. සමිතියේ මෙහෙයවීම යටතේ සංඝමිත්තා විද්‍යාලය, බෞද්ධ බාලිකා විද්‍යාලය පිහිටුවනු ලැබීය. 1891 දී ලංකාවට පැමිණි මාරි මියුසියස් හිගින්ස් මැතිණිය නාරි ශික්ෂාදාන සමිතියට නව පණක් දුන්නාය.
මහාබෝධි සංගමය
1891 මැයි 31 වෙසක් පොහොය දා අනගාරික ධර්මපාලතුමා විසින් මාලිගාකන්ද පිරිවෙනේදී බුද්ධගයා මහාබෝධි සංගමය පිහිටුවා ගනු ලැබිණ. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ එහි ප්‍රථම සභාපති වූහ. අධ්‍යක්ෂ ලෙස සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා පත්විය. ධර්මපාලතුමා සහ පී.පී.වීරසේකර යන මහත්වරු සමලේකම් තනතුරු දැරූහ. ඩබ්.ආබෲ මහතා භාණ්ඩාගාරික විය. බටුවන්තුඩාවේ පඩිතුමා ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් කාරක සභාවක්ද පත්කර ගන්නා ලදී. මෙම දාන සංගමය මහාබෝධි ධර්ම දූත විද්‍යාලය "දෙමටගොඩ මහාබෝධි ශාස්ත්‍රාලය " කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලය ප්‍රමුඛ පාසල් හැටක් පිහිටුවා පවත්වාගෙන ගියේය.
තරුණ බෞද්ධ සංගමය (YMBA)
1898 ජනවාරි 08 දා තරුණයන් 20 දෙනෙකු විසින් පරම විඥානාර්ථ සංගම් මූලස්ථානයේදී තරුණ බෞද්ධ සංගමය නමින් සංගමයක් පිහිටුවාගන්නා ලදී. සංගමයේ ප්‍රධාන ලේකම් වූයේ සී.ඇස්.දිසානායක මහතාය.
ආරම්භක රැස්වීමේ මූලාසනය ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල) හොබවන ලදී. ප්‍රථම රැස්වීමේදී එවකට ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි ඩී.බී.ජයතිලක මහතාට බාරගන්නා ලෙස ඉල්ලා සිටින ලදුුව එදා සිට මිය යන තෙක්ම සංගමයේ සභාපති ධූරය දැරීය (1898 – 1944) සෙසු සාමාජිකයින් වන්නේ ඩී.ඇස්.ඇස්.වික්‍රමරත්න, ටී.ඩබ්.ගුණවර් ධන, සී.ඩබ්.ද.පොන්සේකා, හෙරොඩ් ගුණරත්න, ඩී.ඩී.වීරසිංහ, තෝමස් රොඩ්‍රිගෝ, එච්.දොන් ඩේවිඩ්, ඒබ්‍රහම් කුරුප්පු, වෛද්‍ය ඇල්.සී.විජේසිංහ , ආර්.මලල්ගොඩ, රොබට් ද ෆොන්සේකා, පීටර් ද ආබෘ ඩබ්ලිව් ඒ ද සිල්වා (පසුව සෞඛ්‍ය ඇමති) ජී.ජී.පෙරේරා, මාටිනස් සී පෙරේරා, ජී.ජේ.වීරසිංහ යන මහතුන්ය
මුල් අවස්ථාවේ ආර් ථිකය ඉතා දුර් වල තත්ත්වයක පැවැතිණ. වසර අවසානයේ සාමාජිකත්වය 42 ක් විය. සාමාජික මුදල මසකට සත 50 කි. සංගමය ආරම්භ කළ විගසම ක‍ටයුතු ද අරඹන ලදී.
YMBA උපත
ක්‍රිස්තු භක්තිකයන් පිහිටුවාගෙන තිබූ තරුණ ක්‍රිස්තියානි YMCA සංගමයේ ආකෘතියට සමාන ආයතනයක් වශයෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය නමින් සංවිධානයක් 1898 දී මරදානේ කුඩා නිවසක පිහිටෙව්වේ සර් ඩී.බී.ජයතිලක මහතාගේම අදහසක් අනුවය. මේ කාර් යයට සම්බන්ධ වූ පිරිස අතරින් සමහරෙක් ක්‍රිස්තියානි ආගමිකයන් වු බව සඳහන්ය. (THE BUDDHIST 2018 පෙබරවාරි කලාපය පිටු 21)
බුද්ධ ධර් මය නගාසිටුවීම එහි අධ්‍යයනය හා ව්‍යාප්තිය සඳහා පහසුකම් සැලසීම බෞද්ධ පාසල් නගාසිටුවීමටත් තරුණයන් සංවිධානය කරගැනීමටත් මෙම සංගමයේ අරමුණ වූයේය.
සාමාජිකත්වය සීඝ්‍රයෙන් වර් ධනය වූ නිසාත් වඩාත් ඉඩකඩ ඇති ස්ථානයක අවශ්‍යතාව දැනෙන්නට විය. මේ තත්වය ජයතිලක මහතා ඇෆ්.ආර්.සේනානායක මහතාට දැන්වීය. බොරැල්ලේ මහනිල් මන්දිරය නිවාස මිලදී ගැනීමට දෙදෙනාම තීරණය කළෝය. ඔව්හු අයිතිකරු සමඟ සාකච්ඡා කොට එහි මිල මුලින් කී රුපියල් එක් ලක්ෂ විසි දහසේ සිට රුපියල් හැත්තෑ දහස දක්වා අඩුකරගැනීමට සමත්වූහ.
එහෙත් තරුණ බෞද්ධ සමිතිය සතුව එතරම් මුදලක් නොවීය. ආරම්භයේ පටන් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති ධූරය දරමින් සිටි ඇෆ්.ආර්.‍සේනානායක මහතා තමාට අයත් ඉඩම් ඔප්පුවක් (ණය ඔප්පුව) අත්සන් කොට ඉඩම මිලදී ගැනීමට කටයුතු ක‍ළේය.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සර් ඩී.බී.ජයතිලක මහතා එෆ්.ආර්.සේනානායක ගුණානුස්මරණ විශේෂ සභා රැස්වීමේදී මේ ගැන දීර් ඝ වශයෙන් මෙසේ ප්‍රකාශ කළේය.
"1924 වර් ෂයේ මැයි මස මුලදී පමණ මහනිල් මන්දිරය විකිණීමට තිබෙන බව සැලවූ හෙයින් මම ඒ පිළිබඳ පරලෝ සැපත් සේනානායක මහතා සමඟ සාකච්ඡා කෙළෙමි. පසුව සේනානායක මහතා සමඟ එහි ගොස් මන්දිරය බලා එය මිලයට ගැනීමට තීරණය කර ගනිමු. සේනානායක මහතා රුපියල් 125000 කට මිල නියම කළ මෙම මන්දිරය මම රුපියල් 70000 කට අයිතිකරුවන්ගෙන් ඉල්ලීමි. පුදුමයකට මෙන් ඔවුහු ඊට සතුටු වූහ. එම වකවානුවෙහි මුදල ඉතා අපහසුව තිබූ හෙයින් අවුරුද්ද අවසාන වීමට පෙර එය මිලට ගැනීමට ගිවිසුමකට බැඳී රුපියල් 5000 ක් අත්තිකාරම් දුනිමු. ඉතිරි රුපියල් හැටපන් දහස ගෙවීම සඳහා මුදල් ලබා ගැනීමට එකල සි‍ටි ප්‍රසිද්ධ අධිනීතීඥ වරයකු සමඟ සාකච්ඡා කළ විට හෙතෙම එක වරටම සතුටු විය. නමුත් අවාසනාවකට මෙන් ඒ මහතා ඊට සති ගණනකට පසු හදිස්සියෙන් මියගිය හෙයින් අපේ බලාපොරොත්තු කඩ විය. මෙහිදී ම‍ා නිහඩ වූ නමුත් සේනානායක මහතා මට එසේ නිශ්ශබ්ද වීම‍‍ට ඉඩ නොහැරියේය. අප තවත් මහතකු කරා ගොස් ණයක් ලබා ගැනීමට කථා කළ විට ඒ මහතා මුලින් සතුටු වී පසුව අකමැති වීමෙන් එයද නිෂ්ඵල විය. මේ අතර මන්දිරය මිලයට ගැනීමට කරගත් ගිවිසුමේ කාල සීමාව ඉතා ලඟට පැමිණියේය. නමුත් මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැති විය. මේ පිළිබඳ දිනපතා අපි දෙදෙන සාකච්ඡා කළෙමු. ඇතැම් විට කටයුක්ත සම්පූර් ණයෙන් අත්හැර දැමීමට මා යෝජනා කළ නමුත් සේනානායක මහතා මා ධෛර් යවත් කරමින් ඊට ඉඩ නොහැරියේය. මොකද කර ගත්තේ? මොකද නිතර ඇසූ ප්‍රශ්නය. මෙසේ එතුමා කටයුත්ත අත්හැර දැමීමට ඉඩ නොහළ හෙයින් දෙසැම්බර් මාසයේ මුදලදී ණයක් ගැනීමට අපි පිළියෙල කර ගතිමු. මහනිල් මන්දිරය සහිත ඉඩම සින්නක්කරයේ ගැනීමටත් නැවත එය උගස්කර රුපියල් 50000ක් ලබා ගැනීමටත් අපි සූදානම් වෙමු. නමුත් මෙහිදී තවත්‍ බාධාවක් ඉදිරිපත් විය. උගස්කරයේ මුල් වටිනාකමේ අඩකට වඩා ණය දෙන්නට බැරි බැව් පසුව කියන ලද්දේය. මේ හෙයින් ඉඩම් ගැනීමේ ප්‍රස්තාවයත් අත්තිකාරම දී තිබෙන රුපියල් 5000 ක් නැතිවෙන්න යන බව දැනින. මෙහිදී ද සේනානායක මහතා මග නොහැරියේය. එතුමාගේ රුපියල් දෙලක්ෂයක් පමණ වටිනා ඔප්පු දෙකක් අතිරේක වශයෙන් උගසට බැද තබන ලදුව කටයුක්ත සම්පූර් ණ කෙළේය. සේනානායක මහතාගේ නිර් ලෝභී කාරුණිකත්වයෙන් මහනිල් මන්දිරය තරුණ බෞද්ධ සමිතියට අයත්විය. තරුණ බෞද්ධ සමිතිය උදෙසා කොතරම් උසස් මෙහෙයක් සේනානායක මහතා සිදුකර තිබේ දැයි ප්‍රකාශවන පිණිස මම මේ පුවත සඳහන් කළෙමි."
මෙසේ පටන්ගත් තරුණ බෞද්ධ සමිති ව්‍යාපාරය ලංකාවේ සෑම පළාතකම දකින්නට ලැබේ. 2025 සැප්තැම්බර් 09 වනදා අවුරුදු 127 ක් සම්පූර්ණ වූ කොළඹ බෞද්ධ සම්මේලනය නව සංවත්සරය ඉතා අභිමානයෙන් යුතුව
සැමරූ අතර උතුර නැගෙනහිර ශාඛා සියයකට ආසන්න නියෝජිතයෝ සහභාගී වූහ. ලංකාව පුරා දැනට YMBA ශාඛා දෙසීය හතළිස් ගණනකි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය
මෙය බෞද්ධයාගේ උන්නතිය සඳහා ඉටු කරන තවත් බලවත් බෞද්ධ සංවිධානයකි. ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහාමාන්‍ය මහතාණන්ගේ මූලිකත්වයෙන් බිහි කරන ලද මෙම සංගමයේ අරමුණ වන්නේ
බුද්ධාගමේ සහ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
බෞද්ධ සංගම් සහ බෞද්ධයන් අතර සම්බන්ධය වර්ධනය කිරීම.
බෞද්ධයන්ට බලපාන කරුණු වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම.
බෞද්ධයන්ට තම අවශ්‍යතා පිළිබඳව නිදහසේ කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම.
ත්‍යාගශීලී බව වර්ධනය කිරීම.
බෞද්ධයන්ගේ රුචිකත්වය සහ යහපත සඳහා හෝ ඉහත අරමුණුවලින් එකක් හෝ කිහිපයක් සාක්ෂාත් කරගැනීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීම සංගමයේ අරමුණු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා ජාතික සභා පිහිටුවා තිබේ.
ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික සභාව.
ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජාතික සභාව.
සමාජ සේවා කටයුතු පිළිබඳ ජාතික සභාව.
සංවර්ධනය පිළිබඳ ජාතික සභාව.
අධ්‍යාපන කටයුතු පිළිබඳ ජාතික සභාව.
ළමාරක්ෂාව පිළිබඳ ජාතික සභාව.
තරුණ කටයුතු පිළිබඳ ජාතික සභාව.
සාමාජික ප්‍රවර්ධනය පිළිබඳ ජාතික සභාව.
ජාතික හා බෞද්ධ කටයුතු විමර්ශනය පිළිබඳ ජාතික සභාව.
සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය.
ජනහිතකාමී උද්යෝගීමත් කාන්තාවක් වූ බී.එස්.ජයවර්ධන ප්‍රමුඛ ධෛර්යමත් කාන්තාවන් කිහිප දෙනෙකු එක්ව 1949 ජූලි මස 12 වැනිදා සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය නමින් සංගමයක් පිහිටුවා ගන්නා ලදී. එය බෞද්ධ කාන්තාවන් සඳහා පිහිටුවන ලද ප්‍රථම සංගමය ලෙස සැලකිය හැකිය. එහි පරමාර්ථ වූයේ
බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට උනන්දු කිරිම බුදුදහමට අනුකූල ජීවන රටාවක් ගොඩ නඟා ගැනිම.
බෞද්ධයන්ගේ අයිතිවාසිකම් අ‍ාරක්ෂා කිරීම.
දහම් පංති හා ධර්ම සාකච්ඡා පැවැත්වීම.
‍බෞද්ධ කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතීන් කෙරෙහි බලපාන කරුණු වලදී ^ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාත්මක වීම.
පොහෝ දිනවල ශීල ව්‍යාපාර සංවිධානය කිරීම.
බෞද්ධ කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් සඳහා නේවාසිකාගාර පිහිටුවීම.
බෞද්ධ පුස්තකාලයක් හා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් පිහිටුවීම.
දුප්පත්කම, විරැකියාව, ආපදාවන්ට ගොදුරුවීම, රෝගාබාධ, නූගත්කම වැනි හේතූන් නිසා කාන්තාවන්ට ඇතිවන දුක් වේදනා සමනය කිරීම සඳහා ක්‍රියාත්මක වීම.
එක් එක් අංශ වෙනුවෙන් නිවාස ද පවත්වාගෙන යනු ලැබේ.
ලෝක බෞද්ධ මහා සම්මේලනය
ථෙරවාද, මහායාන, වජ්රායන, වශයෙන් හ‍ා නොයෙකුත් නිකායන්ට බෙදී සිටියත් එකම බුදුවරයකුගේ ශ්‍රාවකයින් වන නිසා එක්ව කටයුතු කළයුතු යයි විද්වත්හු සිතන්නට වූහ. යුරෝපය, උතුරු ඇමරිිකාව (හවායි දූපත් ද ඇතුළුව) පිළිබඳව සම්මේලනයක් පැවැත්වීමට කැමැත්ත පලකළහ. ඒ අනුව කතිකාවතක් සඳහා රැස්වීමක් කොළඹ දී පැවැත්වීමට තීරණය වූයෙන් 1950 මැයි මස 25 වැනි වෙසක් පොහෝදා මහනුවර දළදා මාළිගාවේදී ලෝක බෞද්ධ මහා සම්මේකනය පිහිටුවන ලදී. ප්‍රථම සභාපති ලෙස ගුණපාල මලලසේකර මහත්මා පත්කර ගන්නා ලදී.
බුදු දහමේ අභිවෘද්ධිය සඳහා ලොව පුරා සිටින සෑම නිකායකටම සෑම තරාතිරකටම අයත් බෞද්ධ ජනතාව එකම පරමාර්ථය වන බුදු දහමේ අභිවෘද්ධිය සදහා එක් වූ ප්‍රථම ‍‍‍ඓතිහාසික අවස්ථාව මෙය බව පිළිගත හැකිය.
කිරිබත්ගොඩ, කැලණි තරුණ බෞද්ධ සමිතියේ ආරම්භය 1958 අගෝස්තු මාසයේය. "ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතිය" නමින් එදා (1958.08.03) බියන්විල රජයේ පිරිමි පාසලේදී මෙය ආරම්භ විය. මුලසුන දැරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති පූජ්‍ය කිරිවත්තුඩු‍වේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් වහන්සේය. ප්‍රදේශයට
බෞද්ධ සංවිධානයක් නොමැතිවීම මෙහි සිටින බෞද්ධයින්ගේ වැඩවලට බාධාවක් ලෙස පෙණුන බැවින් සමිතිය පිහිටුවීමට කටයුතු කළේ හත් දෙනෙකුගෙන් යුත් පිරිසකි.
මාකොල කේ.පී.සුමනපාල, කඩවත ග්‍රාම සංවර්ධන නිලධාරීව සිටි ජිනදාස ඩයස් පතිනායක, දළුපිටියේ සිරිල් ගුණපාල, පහල බියන්විල උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර්තුමා ඩී.පී.සූරියාරච්චි, තලවතුහේන්පිට පලිහවඩන ආරච්චිගේ එඩ්මන්ඩ් පෙරේරා, කඩවත ඩී.ආර්.ජයමාන්න, වෙදමුල්ලේ වෛද්‍යාචාර්යය එච්.කේ.චන්ද්‍රසේකර යන ඉහත සඳහන් හත්දෙනාගේ අත්සනින් යුත් ආරාධනා පත්‍රයක් 1958 ජූලි 20 දා ප්‍රදේශයේ ප්‍රභූන් ප්‍රධාන කොට ගම්වාසීන් වෙත යවා තිබු‍ණේ ආදායම් පාලක නිලධාරී කාර්යාලය, කඩවත යන ලිපිනයෙනි.
මෙම මූලික සාකච්ඡාවට ප්‍රදේශයේ විහාරාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ හතළිස් එක්දෙනෙකු සහභාගී වූ බව විධායක සභා වාර්තා (10.09.58) වල සඳහන් ව තිබේ.
කිරිබත්ගොඩ ප්‍රදේශවාසීන් විසින් බෞද්ධ සමිතියක් පිහිටුවීම ගැන ප්‍රථම සාකච්ඡා‍ව පවත්වන ලද්දේ බියන්විල රජයේ පිරිමි විද්‍යාලයේ දීය. 03.08.1958 දින පස්වරු 3.00 ට පමණ අසූ දෙනෙකු පමණ මෙම කැඳවීමට සහභාගී වූහ.
තරුණ බෞද්ධ සමිතිය පිහිටුවීමට මුල්වූ වරාගොඩ සිටි පිළිගත් උගතෙකු හා රජයේ නීතීඥ, මහේස්ත්‍රාත්, සෙනේ‍ට් මන්ත්‍රී මණ්ඩල "කලාක් පදවිය" යන වගකීම් දැරුව නිසාත් පාලිත වීරසිංහ මහතා එවැන්නකට තම අත්සන නොතැබීය.
කැඳවීමේ ආරාධනා පත්‍රය මෙ‍සේය
ආධායම් පාලක නිලධ‍ාරි කාර්යාලය
කඩවත.
1953 ජූලි 20 දි
පින්වතාණෙනි,
මෙම කොටසට බෞද්ධ සංවිධානයක් නොමැතිවීම මෙහි සිටින බෞද්ධයන්ගේ යහපත පිණිස වැඩවලට බාධාවක් ලෙස පෙනුන අපි බෞද්ධ සංවිධානයක් ඇති කිරීමට ඉදිරිපත් වීමු. මේ අවශ්‍යතාවය ඔබද පිළිගෙන
ඇත. එම නිසා අපේ ඉදිරිපත් වීම ඔබද අනුමත කරනවා ඇත. මෙවැනි සංවිධානයකින් කළ හැකි කළ යුතු වැඩ අපමණ බව ඔබද දන්නා නිසා ඒවා මෙහි සඳහන් කිරීමට නොවෙහෙසෙමු.
මෙම සංවිධානය ඇති කිරීමට මූලික රැස්වීමක් පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ගරු කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බියන්විල රජයේ පිරිමි පාසැලේදී 03.08.58 දින සවස 3.00 ට පැවැත්වේ. (අත්සන් හතකි). ‍කේ.පී.සුමනපාල, ජිනදාස පතිනායක, ඩී.ආර්.ජයමාන්න, එච්.කේ.චන්ද්‍ර‍සේකර. සිරිල් ගුණපාල, ඩී.පී.සූරියාරච්චි, පී.ඊ.පෙරේරා සමිතිය පිහිටුවීම පිළිබඳ ප්‍රථම සාකච්ඡාවේදී මුලසුන කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් දැරූ අතර සංවිධායකයන් වෙනුවෙන් පැමිණ සිටි පිරිස පිළිගත්තේ ජිනද‍ාස පතිනායක මහතාය. ජිනදාස ඩයස් පතිනායක යනු ගාලු දිස්ත්‍රික්කයේ හිනිදුම පත්තුවේ උඩුගම මැතිවරණ කොට්ඨාසයේ යටලවත්තේ පදිංචිකරුවෙකි. රජයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුරක් ලැබ මහර ප්‍රාදේශිය ලේකම් කො‍ට්ඨාසයේ ග්‍රාම සංවර්ධන නිලධාරියා ලෙස පත්ව වැඩ බාර ගත්තේය. (1955) ප්‍රදේශයේ රාජකාරි කරද්දී ජනතාවගේ, ගමේ ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගත් පතිනායක මහතා 1956 න් පසුව කැලණියේ මන්ත්‍රී ආර්.ජී.සේනානායක මහතාගේද සමිපතම හිතවතෙකු වීය.
ආරම්භක සමිතියේ මුලසුන දැරූ ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥානායක ස්වාමීන් වහන්සේ මේ වන විට පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනේ අධිපති ධූරය ඉසිලූහ.
පූජ්‍ය කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති පූජ්‍ය කැන්ද ලියද්ද පාළුවේ ඥානමෝලි යන නායක ස්වාමීන් වහන්සේලා අනුශාසක වරුන් හැටියට පත්වූහ.
විධායක නිලධාරීන් වශයෙන් පහත සඳහන් අය සභාවේ කැමැත්තෙන් පත්කර ගන්නා ලදී.
සභාපති ඒ.පී.වීරසිංහ මහතා
උප සභාපතිවරු කේ.පී.සුමනපාල මහතා, පාලිත වීරසිංහ (හිටපු දළුගම්පේරුවේ විදානාරච්චිතැන / ලියන‍ගේ ආතර් පෙරේරා වීරසිංහ), ඩී.ආර්.ජයමාන්න, පී.ඊ.පෙරේරා, ඇස්.කේ.සූරියාරච්චි මහතා ලේකම් ජිනදාස ඩයස් පතිනායක මහතා භාණ්ඩාගාරික ඩී.පී.සූරියාරච්චි මහතා
විධායක සභාව (විසි එක් දෙනෙකි) චන්ද්‍ර කුලරත්න, එච්.කේ.චන්ද්‍රසේකර, ඒ.ආර්.ඩී.කරෝලිස්, ආර්.ඩී.ගුණතිලක, ඇන්.ඩී.පීටර්, ඇස්.ඒ.ඥානිස්සර, බී.ආර්.ප්‍රනාන්දු, සිරිල් ගුණපාල, අර්.පීී.වනසිංහ, කේ.එච්.ජිනසේන, ලෝ.මෙතියස්, පී.ජී.දාබරේ, සරණපාල ආටිගල, ඩී.ඩී.ජයසිංහ, කේ.ඩී.සිරිසේන, ඩී.හපුආරච්චි, සී.පත්මනාථන්, ඇස්.ජේ.පෙරේරා, යූ.ඩී.ජයසේන, කේ.ඩී.ද ලැනරෝල්, ඩේවිඩ් හපන්ගම.
සමිතියේ භාරකරුවන් වශයෙන් කේ.පී.සුමනපාල, ඩී.ආර්.ජයමාන්න, කේ.එච්.ජිනසේන, ඒ.පී.වීරසිංහ, පී.ඊ.පෙරේරා, ජිනදාස පතිනායක, ඇස්.කේ.සූරියාරච්චි යන මහත්වරු පත්වූහ.
වයස අවුරුදු දහ අටේ සීමාවේ සිට සාමාජිකයන් බඳවා ගැනීමටත්, මෙහිදී තීරණය වූ අතර සමිතියේ පැවැත්ම සඳහා පිළියෙල කරන ලද ව්‍යවස්ථා මාලාවක්ද මෙහිදී ඉදිරිපත් විය. සමිතියට සාමාජිකයන් බඳවා ගැනීම මෙම සාකච්ඡා සභාවේදී සිදු වූ අතර හැත්තෑවක තරම් පිරිසක් යෝජිත සමිතියේ සාමජිකත්වය ලබාගත්හ.
03.08.58 දින "ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතිය" නමින් රැස්වී ප්‍රදේශයට බෞද්ධ සමිතියක් පිහිටුවීමේ සාකච්ඡාවේදී ප්‍රථම මහා සභා රැස්වීම (07.09.58) දින පැවැත්වීමට තීරණය විය.
කැලණි තරුණ බෞද්ධ සමිතිය පිහිටුවීම (07.09.58)
කැලණි තරුණ බෞද්ධ සමිතියේ ප්‍රථම මහා සභාව රැස්වූයේ බියන්විල රජයේ පිරිමි පාසැලේදීය.
දිනය 07.09.1958 දා සවස 3.00 ටය.
එහිදී ප්‍රථමයෙන් සිදු වූයේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමයි. සමිතියට ව්‍යවස්ථාව ඉදිරිපත් කරමින් යෝජනා කළේ ලෝ.මෙතියස් මහතාය. ස්ථිර කළේ ඇස්.ඒ.ඥානිස්ස මහතාය. අතුරු කාරක සභා ක්‍රමය ඇතිවූයේද මෙදිනය. ආගමික, සමාජ සේවක, කියවීම් ශාල හා ක්‍රීඩා භූමි, ප්‍රචාරක හා ප්‍රකාශන මුලින්ම ඇති කළ අතුරු කාරක හතරයි.
ආගමික අතුරු කාරක සභාව
පී.ඊ.පෙරේරා මහතා
බී.ආර්.ප්‍රනාන්දු මහතා
ඩී.කේ.ඇල්බින් මහත‍ා
කේ.ඩී.රණවීර මහතා
ඇල්.ඇස්.ලේකම්වසම් මහතා
සමාජ සේවක
කේ.පී.සුමනපාල මහතා
ඩබ්.පී.විජය සුන්දර මහතා
ඇස්.ඩී.ඊ.දිසානායක මහතා
ඇස්.ඒ.ඥානිස්සර මහතා
කේ.එච්.ජිනසේන මහතා
කියවීම් ශාලා හා ක්‍රීඩා භූමි
ඇස්.කේ.සූරියාරච්චි මහතා
ඩී.ඇම්.සේරසිංහ මහතා
ඇල්.ජේ.පෙරේරා මහතා
‍කේ.ඩී.ද.ලැනරෝල් මහතා
කේ.දයානන්ද මහතා
ප්‍රචාරක සහ ප්‍රකාශක
චන්ද්‍රසිරි කුලරත්න මහතා
සෝමපාල දිසානායක මහතා
ඩී.ඩී.හපුආරච්චි මහත‍ා
ඩී.ආර්.ජයමාන්න මහතා
චූලසේන පත්මනාථ මහතා
මෙම සමිතිය "කැලණි තරුණ බෞද්ධ සමිතිය" යනුවෙන් නම් කළ යුතු යැයිද එම නාමය ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යැයි මෙහිදී ඒකමතිකව සම්මත විය. එමෙන්ම ඉදිරිපත් වූ ව්‍යවස්ථාවද චූලසේන පත්මනාථ, ලෝ.මෙතියස් යන මහතුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සභා සම්මත විය.
සමිතියට ගොඩනැගිල්ලක්
සමිතියට ගොඩනැගිල්ලක් තැනීම සඳහා කිරිබත්ගොඩ,නිවාස යෝජනා ක්‍රමයෙන් නුවර පාර අයිනේ ඉඩමක් පර්චස් සියය (100) ක් රුපියල් හත්දාස් පන්සියයකට ගැනීම සුදුසු බව කේ.ඩී.දයානන්ද මහතා යෝජනා කළේය. එච්.කේ.චන්ද්‍රදාස මහතා එය ස්ථිර කළෙන් සභා සම්මත විය. භාරකාර මණ්ඩලයද මෙය අනුමත කර
තිබුණි. මේ ඉඩම ලබා ගැනීමට එවකට කැලණි මන්ත්‍රී හා වෙළඳ ඇමැති ආර්.ජී.සේනානායක මහතාගෙන් ලේකම් මහතා ඉල්ලීමක්ද කර තිබුණි. සමිතියට ස්ථානයක් ලැබෙනතුරු මේ පාසලේම (බියන්විල පිරිමි පා‍සලේ) රැස්වීම් පැවැත්වීමට තීරණය විය.
ගොඩනැගිල්ල පිළිබඳ කටයුතු කිරිමට ඒ.පී.වීරසිංහ, ජිනදාස පතිනායක, චන්ද්‍ර කුලරත්න, ඩී.ආර්.ජයමාන්න, කේ.පී.සුමනපාල, ඩී.පී.සූරියාරච්චි, පී.ඊ.පෙරේරා, ඇල්.ඇස්.ලේකම් වසම් යන මහත්වරු පත්වූහ.1959 වර්ෂ‍යේ මැයි මාසයේ 31 දා බියන්විල පාසලේ පැවැති විශේෂ මහා සභා රැස්වීමකදී සාකච්ඡා වූයේ සමිතිය මිලයට ගන්නා ඉඩම සමිතිය වෙනුවෙන් කාගේ නමින් ලියනවාද යන්නයි. අවසානයේ තීරණය වූයේ එය ආතර්.පී.වීරසිංහ හෙවත් ඒ.පී.වීරසිංහ මහතා ඇස්.කේ.සූරිය‍ාරච්චි, කේ.පී.සුමනපාල යන අයගේ නම්වලට ඔප්පු ලිවීම සුදුසු බවයි. ඉඩම මිලට ගැනීමට සමිතිය සතු මුදල් නොමැති හෙයින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට තීරණය විය. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් රුපියල් දෙදහස් හැත්තෑ තුනයි සත පනහක් ලැබුණි. චිත්‍රපට ප්‍රදර්ශනයේ ප්‍රධාන අමුත්තා වූයේ බුරුම තානාපතිතුමාය. ලංකාවේ බුරුම තානාපතිතුමා සමිතියට ආධාර වශයෙන් රුපියල් විසි පහයි සත අනූවක් පරිත්‍යාග කළ බව 1959 අගෝස්තු මස තුන්වන දිනට අවසන් වූ කැලණි තරුණ බෞද්ධ සමිියේ පළමුවැනි වර්ෂයේ අයවැය ලේඛනයේ සඳහන්ව තිබේ.
ඉඩම ගැනීමට ණය වශයෙන් කේ.පී.සුමනපාල මහතාගෙන් රුපියල් තුන්දාහක්ද කේ.එච්.ජිනසේන මහතාගෙන් දෙදහස් පන්සියයක්ද ගත් බව එවකට ගරු භාණ්ඩාගාරික ඩී.පී.සූරියාරච්චි මහතා සඳහන් කර තිබේ.
මේ අනුව සමිතියට ඉඩම මිලදීගෙන ඇත්තේ රුපියල් හත්දහස් පන්සියයකටය. ඒ වන විට සකස් කොට තිබූ යෝජිත ගොඩනැගිල්ලට රුපියල් අසූදහසක් වැය වන බව ගණන් බලා තිබුණි. ගොඩනැගිල්ලේ සැලැස්ම නොමිලේ ඇඳ දුන්නේ ගෘහ නිර්මාණ ශිල්පී කළුබෝවිල මහතාය. ඒ අනුව සමිති මූලස්ථාන 1959 නොවැම්බර් 12 දා පෙරවරු 10.30 ට (59.11.12) ආතර් පෙරේරා වීරසිංහ මහතා පළමු පස් පිඩැල්ල කපා මුල්ගල තැබුවේය.
සමිතියට නමක්
"ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතිය" නමින් මූලික සාකච්ඡාවේදී සාමාජික මහත්වරුන්ට කලින් දැනුම් දී ඇති පරිදි සමිතියේ නම වෙනස් කිරිම ප්‍රථම සභා රැස්වීමේදී (07.09.58) සිදුවිය. ඒ මෙසේය.
ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතිය කැලණි තරුණ බෞද්ධ සමිතිය නමින් වෙනස් කළ යුතුය. යනුවෙන් යෝජනා කළේ ලො.මෙතියස් මහතාය. ස්ථිර කළේ ඇස්.ඒ.ඥානිස්සර මහතාය.
සමිතියට බැදුණ ප්‍රථම සාමාජිකයන් 44 දෙනා මෙසේය.
පී.ඊ.පෙරේරා මහතා, තලවතුහේන්පිට, කිරිබත්ගොඩ, ලො.මෙතියස් මහතා, උතුරු තලවතුහේන්පිට,කිරිබත්ගොඩ, යූ.ඩී.ජයසේන මහතා,79,නුවරපාර,කිරිබත්ගොඩ,කැළණිය, ඒ.පී.වීරසිංහ මහතා, වරාගොඩ,කැළණිය, එච්.ජී.සී.පද්මනාථ මහතා, කඩවත,දඑපිටිය, සී.ගුණපාල මහතා, කඩවත,දඑපිටිය
ආර්.පී.වනසිංහ මහතා, 46, තලවතුහේන්පිට,කිරිබත්ගොඩ, කේ.එච්.ජිනසේන මහතා, දඑපිටිය, ඩි.පී.සූරියආරච්චි මහතා, පහල බියන්විල, ඩී.ඒ.ආර්.වීරසේකර මහතා, පහල බියන්විල, කේ.චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා, පට්ටිවිල,කැළණිය, ඩී.ආර්.ජයමාන්න මහතා, කඩවත, ඒ.ආර්.ඩී.සී.අප්පුහාමි මහතා, සූරියපාඑව, ඇන්.ඩී.පීටර් මහතා, පිනනමැදේ, ඇස්.ජයසිංහ මහතා, පමුණුවිල, ඩී.ඩී.ජයසිංහ මහතා, පමුණුවිල, ඇල්.ජේ.පෙරේරා මහතා, මහර,කඩවත, ඇසොන්.සමරවීර මහතා, වරහන්තුඩුව,කඩවත, ඇම්.කේ.ඩී.සිරිසේන මහතා, වරහන්තුඩුව,කඩවත, කේ.ඩී.සේදිරිස් මහතා, පහල බියන්විල,කඩවත, ඩී.එච්.ද.අල්විස් මහතා, පහල බියන්විල,කඩවත, ජේ.ඩී.ටී.වික්‍රමසේකර මහතා,මහර,කඩවත, දෝ.ම.සේරසිංහ මහතා, වෙළද දෙපාර්තමේන්තුව,වෙළද සැල,මාතර, ඇස්.ඒ.ඤාණිස්සර මහතා, 39/2,වෙඩිකන්ද පාර,ගල්කිස්ස, පී.ජී.දාබරේ
මහතා, මාකොල උතුර, කඩවත, කේ.ඩී.දයානන්ද මහතා, දඑගම,කැළණිය, ඇස්.කේ.සූරියආරච්චි මහතා, 3,සම්නර් පෙදෙස,කොළඹ, පාලිත වීරසිංහ මහතා, වරාගොඩ වත්ත,කැළණිය, කේ.පී.සුමනපාල මහතා, මංකඩ පාර,කඩවත, වෛද්‍යාචාර්ය්‍ය ඇල්.ඇස්.ප්‍රනාන්දු මහතා, දඑපිටිය,කඩවත, ඩී.ඩී.හපුආරච්චි මහතා, මාකොල, එච්.තෙලේනිස් ප්‍රනාන්දු මහතා, හිඹුටුවැල්ගොඩ, එච්.කේ.චන්ද්‍රස්කර මහතා, මාබිම,හෙයියන්තුඩුව, ඇස්.ජේ.පෙරේරා මහතා, මාබිම,ගෝනවල, ජී.ටී.ආටිගල මහතා, දඑපිටිය, කේ.ජී.ඩේවිඩ් සිල්වා මහතා, පහල බියන්විල,කඩවත, ටී.ඇම්.ඇල්.රුද්‍රි‍ගෝ මහතා, පහල බියන්විල,කඩවත, ඇස්.ඩී.ගුණේරිස් මහතා, ඊරියවැටිය,කැළණිය, බී.ආර්.ප්‍රනාන්දු මහතා, හුණුපිටිය,වත්තල, ගුණසේන ගනේගොඩ මහතා, මාබිම,කැළණිය, බී.ඇස්.පී.ගුණතිලක මහතා, මාකොල,කඩවත, කේ.කේ.පී.සුමනපාල මහතා, 155,පයිප්පාර,කොළඹ 05, ජිනදාස පතිනායක මහතා, ඉලුක්කැටිය වත්ත,වංචාවල,ගාල්ල, කේ.ඩී.ද.ලැනරෝල් මහතා, ශ්‍රියා කාන්තා වත්ත පාර,වරාගොඩ,කැළණිය.
ප්‍රථම භාරකාර මණ්ඩලය
ඒ.පී.වීරසිංහ, ඇස්.කේ.සූරියාරච්චි, පී.ඊ.පෙරේරා, කේ.පී.සුමනපාල, කේ‍.එච්.ජිනසේන, ඩී.ආර්.ජයමාන්න,
ජේ.ඩී.පතිනායක.
නව ගොඩනැගිල්ලේ ප්‍රථම රැස්වීම පැවැත්වීම.
බියන්විල රජයේ පිරිමි පාසලේ වසර දහයක් පමණ කාලයක් තිස්සේ රැස්වීම් පවත්වා ප්‍රථම වර‍ට කිරිබත්ගොඩ නුවර පාරේ තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලේ රැස්වීමක් පැවැත්වූයේ 1968.10.13 දා ප.ව.3.00 ට බව පැරණි වාර්තා පොත්වල සඳහන්ව තිබේ. එහෙත් කිරිබත්ගොඩ නුවර පාරේ මෙම නව ගොඩනැගිල්ල 1973 මැයි 5, 6 දිනවල සර්වරාත්‍රික පිිරිත් දෙසුමක් පවත්වා නිල වශයෙන් විවෘත කර තිබේ.
ආගමික අංශය විසින් 1959 ජනවාරි මාසයේ සිට පහත දැක්වෙන ස්ථානවල ධර්ම දේශකයන් වහන්සේලා ලවා ධර්ම දේශන පවත්වන ලද්දේ ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථ අනුවයි.
පූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥ්ඥාසාර ස්වාමින් වහන්සේ කිරිබත්ගොඩ දී.
පූජ්‍ය පලන්නොරුවේ විමලධර්ම නායක ස්වාමීන් වහන්සේ මාකොළ දී.
පූජ්‍ය කළු කොඳයාවේ ශ්‍රී පඤ්ඤාසේකර මහානායක ස්වාමීන් වහන්සේ කඩවත දී.
පූජ්‍ය දෙගම්මැද සුමනජෝති නාහිමියන් වහන්සේ හුණුපිටියේ දී.
පූජ්‍ය මඩිිහේ ශ්‍රී පඥ්ඥාසීහ මහානායක ස්වාමීන් වහන්‍සේ වරාගොඩ දී.
පූජ්‍ය වීරගුලේ සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ කොහොල්විල දී.
තවද කම්මල්වත්තේ ඉරිදා දහම් පාසලක් ආරම්භ කොට එහි ළමයින්ට පොත්පත් සපයාදීම සිදු කළේය. පුස්තකාලයක්ද පිහිටෙව්වේය. පොහොය දින සිල් ගැනීමට කටයුතු සලස්වා නියමිත වැඩසටහනක් අනුව දෙසීයයකට වැඩි පිරිසක් එයට සහභාගී කරවීම මාකොළ ග්‍රාම සංවර්ධන හා මහිලා සමිති මෙයට සම්බන්ධ කර ගැනීම ද සිදු කළේය.
සමිතිය ආරම්භයේ සිට මේ දක්වා ආගමික කටයුතු පිළිබඳ අතුරු කාරක සභාව ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සංස්කෘතික අධ්‍යාපන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබීය. විශේෂයෙන් සෑම පුරපසලොස්වක දිනයකදීම උදෑසන ශීල සමාදන් කරවීම ප්‍රධාන කොටගත් බණ භාවනා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළේ විශේෂයෙන් ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවාර කිහිපයක්ම පැවැත්වීය. ධර්ම පුස්තක ප්‍රදානය කිරීමක්ද ඒ අතර වෙයි. ගිලන්පස දෙවේලක් ද දහවල් දානය ද සිල්සමාදන් වූ සැදැහැවතුන්ට පූජා
කිරීමද නොකඩවා සිදු කර ඇත. මේ සියළුම වැඩසටහන් ප්‍රදේශයේ දානපතියන්ගේ සහායෙන් සිදු වූ අතර එසේ නොමැති අවස්ථාවලදී තරුණ බෞද්ධ සමිති විධායක සභිකයන් දායකත්වය දරා තිබේ.
සමාජ සේවා අංශය
ගම්වල කැඩී බිදී ගිය පවුල් එකතු කිරීම හා විවාහ ලියාපදිංචි කර අඹුසැමියන් ලෙස ජීවත් වෙන පවුල් පදිංචි කිරීම සිදු කළේය. පටන් ගැනීමේදී එවැනි පවුල් 13 ක් ලියාපදිංචි කර තිබුණි.
ආරම්භය 1960.03.06 ළමා නිවාස
1960 වසර තුළ වැදගත්ම සේවය ලෙස දෙවෙනි සංවත්සර වාර්තාවේ (1959/09/01 සිට 1960/08/28) සඳහන්ව ඇත්තේ (පිටුව 3) පළාතේ සිටින අනාථ ළමයින් යහමඟ ගැනීමේ අරමුණින් 1960 මාර්තු 6 දා ළමා නිවාසයක් ආරම්භ කිරීමයි. ළමයින් 07 දෙනෙකුගෙන් පටන්ගත් එම නිවාසය වසරක් අවසාන වන විට 11 දෙනෙකු දක්වා වැඩිවිය. සමිතියේ වියදමින් පවත්වාගිය මේ සඳහා (එකල) රුපියල් 400 ක් පමණ මාසයකට වැය වී ඇත.
මෙම ළමා නිවාසය සෑදීමට හෙයියන්තුඩුවේ ඩී.ඇල්.අබේසේකර මහතා රූඩ් 2යි පර්චස් 3 ක ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර ගොඩනැගිල්ල තැනීම සඳහා රුපියල් 5000 කට වැඩි මුදලක් පරිත්‍යාග කර තිබේ. හෙයියන්තුඩුවේ ප්‍රසිද්ධ පාරට මායිම්ව මෙම ළමා නිවාසය පිහිටුවා තිබුණි.
අබේසේකර මහතාගේ නිවසක ළමා නිවාසය පවත්වාගෙන ගිය බවත් කැලණි තරුණ බෞද්ධ සමිතියේ 1961.01.28 නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
1960 ජනවාරි ළමයින් 7 දෙනෙකුගෙන් පටන්ගත් හෙයියන්තුඩුවේ ළමා නිවාසය (හෙයියන්තුඩුවේ බී.ඇල්.අබේසේකර මහතා පරිත්‍යාග කළ) වැඩි කල් නො‍ගොස් එතැනින් ඉවත් කිරීමට සිදු වූ බවක් සඳහන් ‍වේ. තුන්වන සංවත්සර වාර්තාවේ සඳහන් වන්නේ (60.08.28 / 61.08.28) නොමිලේ දුන් දෙය ප්‍රයෝජනයට ගත හැකි වූයේ ටික කලකි. එතැනින් අපට යන්ට සිදු වුණි. මහත් කරදර විදින්නට සිදු වූවාට පසුවය. 1961 ජූලි පළමුවන දා සිට ළමා නිවාසය පවත්වාගෙන ගියේ කිරිල්ලවළ ගමේ කුලියට ලබාගත් ගෙයකය. මෙම ළමා නිවාසය තැනිම සඳහා මහර හන්දියේ පිහිටි ඉඩම වසරකට රුපියල් 22.50 ගෙවීමේ තිස් අවුරුදු බදු ක්‍රමයට ලබාගන්නට යෙදුණි. එහි අවශ්‍ය ගොඩනැගිලි සඳහා සැලැස්මක් පිළියෙල කර එය ළමා රක්ෂක දෙපාර්තමේන්තුවට අනුමැතිය හා ආධාර බලාපොරොත්තුවෙන් ඉදිරිපත් කළේය. 1960 මාර්තු 6 දා ළමා නිවාසය ලියාපදිංචි කර තිබුණි. එහි ප්‍රථම පස්පිඩැල්ල කපා මුල්ගල තැබුවේ පාලිත වීරසිංහ මහතාගේ මෑණියන් වූ නැසීගිය නීතීඥ රොබට් වීරසිංහ මහතා‍ගේ භාර්ය්‍යාව වූ ලීලා වීරසිංහ මැතිණිය විසිනි.
1960 මාර්තු 06 වනදා ආරම්භ කරන ලද ළමා නිවාසය අසරණ ළමුන් 40කට පමණ සෙවන ලබාදුන් ස්ථානයක් විය. මෙම ළමා නිවාසය පිහිටි ඉඩම 1964 සිට අවුරුදු 30 ක කාලයක් සඳහා බදු පදනමක් ලබාගෙන පවත්වනු ලැබීය. රජයෙන් බදු පදනම මත ලබාගන්නා ලද මෙහි බදු කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය බව මහර ප්‍රාදේශීය ලේකම්ට දැන්වූ නමුත් බදු කාලය දීර්ඝ කිරීමට හැකියාවක් නැති බව ලේකම්තුමා දැන්වීය. එම නිසා ළමා නිවාසයට සුදුසු ස්ථානයක් සොයාගැනීමේ දුෂ්කරතාවය ඇති විය. කඩිනම් සංවර්ධන කටයුතු සඳහා ළමා නිවාස ඇති වී ඇති බැවින් උසාවි නියෝගයක් මත 2008/3/17 වන දින මෙම ඉඩමේ හිස් භුක්තිය මහර ප්‍රාදේශීය ලේකම්තුමා වෙත භාරදෙන ලදී. නිවාසයේ දරුවන් පරිවාස දෙපාර්තමේන්තුව විසින් වෙනත් නිවාසවලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.
ආරම්භක වැඩිහිටි නිවාසය
කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතියේ ප්‍රථම වැඩිහිටි නිවාසය තැනීමට හේතු වූයේ මහර මන්ත්‍රී ඇස්.කේ.සූරියආරච්චි මහතාගේ අදහසක් අනුවයි. සූරියාරච්චි මහතාගේ අදහස 1962.10.18 වන දින කේ.ජී.සුමනපාල මහතාගේ නිවසේ පැවති භාරකාර මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට යොමු වුණි. පසුව එය යෝජනාවක් වශයෙන් එච්.කේ.චන්ද්‍රසේකර මහතා ආ අතර එම්.එල්.බී.පී.රාජකරුණා මහතා විසින් ස්ථිර කරන ලදී.
1962 නොවැම්බර් 25 දා පැවති මහා සභා රැස්වීමේදී උඩුපිල පදිංචි ඩී.බී.අමරකෝන් මහතා තම ඉඩමෙන් හතරෙන් එකක් යෝජිත වැඩිහිටි නිවාසයට තෑගි වශයෙන් ලබා දුන්නේය. ඒ අනුව ලිඳමුල වත්ත නැමැති ඉඩම ගෙයක් සමඟ අක්කර එකක් සහ පර්චස් එකක් සමිතියට ලැබුණි.
මහළු නිවාසය පටන්ගැනීම 1963 ජනවාරි 27
කැලණි තරුණ බෞද්ධ සමිතියේ පස්වන සංවත්සර වාර්තාවට අනුව (62.08.26 / 63.0831) 1962 දෙසැම්බර් 27 වනදා උඩුපිල මහළු නිවාසයක වැඩකටයුතු ආරම්භ කළේය. එය පටන් ගත්තේ වැඩිහිටියන් හයදෙනෙකුගෙන්ය. විශාලම ආධාරය ලබාදී ඇත්තේ සමිතියේ උප සභාපතිවරයෙකු වූ මහජන මන්ත්‍රී එස්.කේ.සූරියආරච්චි මහතා විසිනි. එසේම මූලික වශයෙන් වැදගත් පරිත්‍යාග සාම විනිසුරු එම්.එච්.මොහොමඩ් හජ්ජියාර්, ඒ.ඇල්.ඇම්.ජලීල් යන මහත්වරු කළ බව සඳහන් වේ.
ආරම්භයේදී මහළු නිවාසය යනුවෙන් නම් කළ ද පසු කලෙක එය දෙල්ගොඩ උඩුපිල පිරිමි වැඩිහිටි නිවාසය යනුවෙන් එය හැඳින්වුණි. සමිතිය නඩත්තු වන්නේ සමාජසේවා දෙපාර්තමේන්තුවේත් කිරිබත්ගොඩ කැලණි බෞද්ධ සමිති‍යේත් වෙනත් පරිත්‍යාගශීලීන්‍ගේ අරමුදල්වලිනි. වැඩිහි‍ටි නිවාසය 1963 ජනවාරි 27 පෙරවරුවේ ඇස්.කේ.සූරියආරච්චි මහතා විසින් විවෘත කරන ලදී.
උඩුපිල වැඩිහි‍ටි නිවාසයේ නව ගොඩනැගිල්ලේ අයවැය වාර්තාවට (1988) අනුව මහර මැතිවරණ කොට්ඨාශයට අයත් උඩුපිල වෑබඩ පාරේ මහළු නිවාසය පටන්ගෙන ඇත්තේ 1963 ජනවාරි 07 දා පැරණි නිවාසයකයි. ආරම්භයේදී සිටියේ නේවාසිකයන් අට දෙනෙකි. පසුව එය 15 දක්වා වැඩිවිය. මෙම අබලන් ගෘහය වරින්වර ප්‍රතිසංස්කරණය කළ අතර එය කළේ එවකට සභාපති කේ.පී.සුමනපාල මහතාගේ වියදමිනි.
එවකට වැඩිහිටි නිවාස අතුරු කාරක සභාවේ සම්පාදකව සිටි අතුල ආර්.හෙට්ටිආරච්චි මහතා ලියූ සටහනක් අනුව උඩුපිල වැඩිහිටි නිවාසයේ ඉතිහාසය මෙසේය.
රහසක් :-
මෙම නිවාසයේ ආරම්භය ද බොහෝ දෙනෙකු නොදන්නා රහසක් සහිත සිද්ධියකි. එම රහස දන්නේ සුළු පිරිසක් පමණි. රහස සැකෙවින් මෙසේය.
අපගේ නිවාසයේ සිට හැතපුම් 5ක් පමණ ඈතින් පිහිටි මල්වාන පොහොසත් මුස්ලිම් ජනයාගෙන් ගහණ වූ ගමකි. එක් මුස්ලිම් මහතෙකුට රජයෙන් සාමවිනිසුරු පදවියක් පිරිනැමුණි. එම අයගේ සහෝදරයෙක් මේ ගැන බොහෝ සිත් වේදනාවට පත්ව කොයි ක්‍රමයෙන් හෝ තමාටත් සාමවිනිසුරු පදවියක් ලබා දෙන්නැයි කියා එවකට මහර ආසනයේ මන්ත්‍රිවරය‍ාවූත් අප සමිතියේ එවකට ක්‍රිියාකාරී සාමාජික‍යෙකු වූත් ඇස්.කේ.සූරියආරච්චි මහතාට ඇවිටිලි කරන්නට විණි. මෙම ඇවිටිල්ලෙන් ගැලවීමට සූරියආරච්චි ඇමතිතුමා අමුතුම වර්ගයේ යෝජනාවක් ඔහු වෙත ඉදිරිපත් කළේය. එතුමාගේ යෝජනාව වූයේ සාමවිනිසුරු පදවිය බලාපෙරොත්තු වන එම මුස්ලිම් මහතා කිසිම සමාජසේවා කටයුත්තක් කර නැති බැවින් සාමවිනිසුරු පදවියක්
දිය නොහැකි බවත් එය ඔහුට අවශ්‍යම නම කැලණි තරුණ බෞද්ධ සමිතියට වැඩිහිටි නිවාසයක් පටන් ගැනීම සඳහා ගෙයක් සහිත ඉඩමක් ලබාදෙන ලෙසත් ඉල්ලීය. ඉල්ලීම එකවරම පිළිගත් ඔහු මෙම ඉඩම සහ ගෙය රු.15000.00 කට මිලදී ගෙන එය සමිතියට පරිත්‍යාග කරන ලදී. පොරොන්දු වූ පරිදි ඔහුට සූරිය ආරච්චි ඇමතිතුමා සාමවිනිසුරු පදවිය ලබා දුනි. එහෙත් සාමවිනිසුරු පදවිය ලබාගත්තේ සූරියආරච්චි මහතා ඔහුගෙන් රු.15000.00 ක් සන්තෝෂමක් වශයෙන් ලබාගෙන යැයි යන භයානක චෝදනාව ඇමතිතුමාට එල්ල විණි. එයින් බේරීමට ප්‍රසිද්ධියේම ඇමතිතුමාට සත්‍යය හෙළිකිරීමට ප්‍රසිද්ධ රැස්වීම් වලදී පවා සිදුවිනි. එම මුස්ලිම් සාමවිනිසුරු තුමා අද ජීවතුන් අතර නැත. එහෙත් එතුමාව අප ගෞරවයෙන් සිහිපත් කරන්නේ සාමවිනිසුරු පදවියක් ලබාගැනීමට එතුමා තුළ ආශාවක් ඇති නොවුනේ නම් මෙම වටිනා ඉඩම සහ අද විවෘත කරන මෙම අගනා ගොඩනැගිල්ල කැලණි තරුණ බෞද්ධ සමිතියට අයත් වන්නේ නැත.
අබලන් ගෘහය -
නිවාසය වරින්වර ප්‍රතිසංස්කරණය කර මේ අන්දමට පවත්වාගෙන යද්දී 1980 දී පමණ රු.9000.00 ක් පමණ වැයකර ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවූ අතර එහි සම්පූර්ණ වියදම සභාපති කේ.පී.සුමනපාල මහතා විසින් දරණ ලදී.
අතුල ආර්.හෙට්ටිආරච්චි මහතාගේ වාර්තාව අනුව මහළු නිවාසයේ ආරම්භය 1963 ජනවාරි 07 දාය. නව වැඩිහිටි නිවාස ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම 1987 ජූලි 30 දා සිදු වී ඇත. එහි ඉදිකිරීම් 1988 ජනවාරි 10 දා පටන් ගත් අතර ගෙවැදී ඇත්තේ 1988 ජූලි 30 දාය. නව ගොඩනැගිල්ල විවෘත කළේ ආර්.ඩී.ජෝන් ප්‍රනාන්දු නමැති නේවාසිකයා විසිනි.
ඇස්.කේ.සූරියආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වූයේ 1960/03/19 දින පවත්වන ලද පාර්ලිමේන්තු මහ මැතිවරණය ඔහු තරුණ කාලයේ ශ්‍රී.ල.නි.ප මහර අපේක්ෂකයා වශයෙන් එ.ජා.පයෙන් ඉදිරිපත් වූ සිරිදත්තා ජයකොඩි මහත්මියට වඩා ඡන්ද 6096 ක් ලබා ගත්තේය. ඔහු ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව 15098 කි.
1960/7/20 දා පැවැත් වූ මහා මැතිවරණයෙන් ද ඔහු දෙවන වරටත් මහර මන්ත්‍රී වූයේ ඡන්ද දාහත්දහස් හත්සීය අනූ එකක් ලබමිනි. එවර වැඩි ඡන්ද 80800 කි. 1963 මැයි මාසයේ සිදුකළ වෙනස්කම් අනුව (1963/09/30) මුදල් උප ඇමති වශයෙන්ද පසුව 1964 ජූලි මාසයේ සිට අධ්‍යාපන උප ඇමති වශයෙන් ද පත්විය. 1965 මාර්තු 22 මැතිවරණයෙන් සූරියආරච්චි මහතා තුන්වෙනිවරටත් ශ්‍රී.ල.නි.ප යෙන් මහර මන්ත්‍රීවශයෙන් ඡන්ද 20573 ක් ලබා මන්ත්‍රී විය. එක්දහස් නවසීය හැත්තෑවේ මැයි 27 පැවැත්වූ මැතිවරණයෙන් ද ඇස්.කේ.කේ.සූරියආරච්චි මහතා ශ්‍රී.ල.නි.ප 4 වෙනි වරටත් මහ මන්ත්‍රී වූයේ 27679 ලබා ගනිමින්ය. එවර ඔහුට කැබිනට් ඇමති පදවියක් (කර්මාන්ත හා විද්‍යා කටයුතු) හිමි විය. 1977 මහ මැතිවරණයෙන් සූරියආරච්චි මහතා ඡන්ද 22374 ක් ලැබුවද ඔහු ඡන්ද 632 ක් පරාජයට පත් විය.
සූරියආරච්චි කංකානමලාගේ කරුණාදාස සූරියආරච්චි (ඇස්.කේ.කේ.සූරියආරච්චි) මහතා සමිතියට කළ සේවයට උපහාරයක් වශයෙන් තරුණ බෞද්ධ සමිතියෙන් සමිමාන සාමාජිකත්වය පිරිනමනු ලැබිය. (15.08.71)
වෑබඩ කාන්තා වැඩිහිටි නිවාසය
කැලණි තරුණ බෞද්ධ සමිතියේ දෙවන වැඩිහිටි නිවාසය 1991 දෙසැම්බර් 06 වන දින ආරම්භ කළේය. මෙය ද සමිතියේ අරමුදලින් හා පරිත්‍යාග ශීලීන්ගෙන් නඩත්තු කෙරේ.
ඉඹුල්ගොඩ අයිරින් තිලකරත්න කාන්තා වැඩිහිටි නිවාස
මෙය කිරිබත්ගෙ‍ාඩ කැලණි තරුණ බෞද්ධ සමිතියේ තුන්වන වැඩිහිටි නිවාසයයි. ඉහළ ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ හන්දියේ අංක 155/1 දරණ ස්ථානයේ පිහිටුවා තිබේ. මෙම වැඩිහිටි නිවාසය ඉදිකිරීමට ඉඩම පරිත්‍යාග කළේ විශ්‍රාමලත් පාඨශාලාචාරිනී අයිරින් තිලකරත්න ගුරු මාතාව ප්‍රධාන එතුමියගේ පවුලේ සියළු දෙනා විසිනි.
එය විවෘත කරන ලද්දේ 2010 ජූනි මස 23 වැනිදා බදාදා දින පස්වරු 4.03 ට යෙදුන සුබ මො‍හොතිනි. විවෘත කරන ලද්දේ එවකට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියයි.
මේ කාලයේ කිරිබත්‍ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතියේ ගරු සභාපති වශයෙන් කටයුතු කලේ ශ්‍රී ලංකා තිලක සේපාල ජයසේන මහතායි. ගරු ලේකම් ඩී.ඇම්.කේ.දිසානායක මහතා වන අතර ගරු භාණ්ඩාගාරික සාම විනිසුරු ඒ.පියසිරි මෙන්ඩිස් මහතායි.
ආරාධිත අමුත්තෝ වශයෙන් විද්‍යාලංකාර පරි‍වේනාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන් වහණ්සේ, කැලණි රජමහා විහාරාධිපති, කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ, කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාමාධිපති, රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආචාර්ය මාකොල මංගල ස්වාමීන් වහන්සේ කොළඹ නවකෝරළේ සහ නවතොටුමුණේ උප ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී තැඹිලිගස්මුල්ල ශ්‍රී සුදර්ශනාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය පානකාවේ ප්‍රේමරතන ස්වාමීන් වහණ්සේ, පහළගම විද්‍යා රවීන්ද්‍ර මහඑ පිරුවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වරාපිටියේ මංගල ස්වාමීන් වහණ්සේ මෙම අවස්ථාවට සහභාගී වූ පැවදි උතුමෝ වූහ.
ආරාධිතයන් වශයෙන් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, සමාජ සේවා අමාත්‍ය පීලික්ස් පෙරේරා, මහාමාර්ග නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා, දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමති පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න, සරණ ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, කරූ ජයසූරිය, රුවන් විජයවර්ධන යන මැති ඇමතිවරු සහභාගී වූහ.
නවලෝක සමූහ ව්‍යාපාර අධිපති දේශමාන්‍ය එච්.කේ.ධර්මදාස, කැලණිය ගම්පහ ප්‍රාදේශීය ලේකම්වරු ජගත් සුමතිපාල ආදීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉඩමෙන් කොටසක් නුවරපාරට
1979 දී කොළඹ නුවරපාර පළල් කිරීමේදී තරුණ බෞද්ධ සමිතියට අයත් පර්චස් 14/3 ක ප්‍රමාණයක් පාරට දීමට සිදුවිය. සමිතියට අයත් කඩපේලියේ බිත්ති කඩා දැමීමට සිදු වූ අතර එය ප්‍රතිසංස්කරණ කිරීමට සිදු වූයේද සමිතියේ වියදමිනි. රජයෙන් මේ සඳහා වන්දි වශයෙන් රුපියල් තිස්තුන්දහස් පන්සීයයක මුදලක් ලැබුණු බව 1979 මාර්තු 11 දා පාලක මණ්ඩල රැස්වීම් වාර්තාවේ සඳහන් වී තිබේ.
පුස්තකාලය ආරම්භය
ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතියේ පළමු රැස්වීම පැවැත්වීමෙන් පසුව කැලණි තරුණ බෞද්ධ සංගමයේ ප්‍රථම මහා සභා රැස්වීම පැවැත්වූයේ 07.09.58 දිනයි. අතුරු කාරක සභා ක්‍රමය ඇති වූයේ ඉන් පසුවයි.
ආගමික, සමාජසේවා, කියවීම හා ක්‍රීඩා භූමි ප්‍රචාරක ප්‍රකාශය යන අතුරු කාරක සභා තුන මුලින්ම ඇති කළ අතර ව්‍යවස්ථාව සම්පාදනය වීමෙන් පසු අයිතින් ක්‍රියාවට නැංවිණ.
කියවීම් ශාලා හා ක්‍රීඩා භූමි යනුවෙන් හැදින්වූ අතුරු කාරක සභාවට ඇ්ස්.කේ.කේ.සූරිය ආරච්චි ඩී.එම්.සේරසිංහ ඇල්.ජේ.පෙරේරා කේ.ඩී.ද.ලැනරෝල් යන ප්‍රභූන් පත්ව සිටියහ. 1958/12/25 දින රැස් වූ මහසභා රැස්වීමේ සමිතියේත් සාධු සමාජවලත් ප්‍රයෝජනය පිණිස පුස්තකාලයක් පිහිටුවීමට තීරණය විය.
කියවීම් ශාලා අංශයෙන් පාසල් 6 ක ශිෂ්‍යාවන්ට අවශ්‍ය පොත්පත් ලිපිද්‍රව්‍ය බෙදාදීම සිදුවිය. හෙයියන්තුඩුව ලබුහේන පාසල, පුවක්වැටිය මිශ්‍ර පාසල, සියඹලාපේ ප්‍රාථමික පාසල, මහර නුගේගොඩ ගැහැණු මිශ්‍ර පාසල දළුගම බෞද්ධ බාලිකා පාසල, යබරළුව රජයේ පාසල යන පාසල් 6 ක් සඳහා සෑම වසරකම පොත් ලිපිද්‍රව්‍ය ලබාදුන්නේය.
පුස්තකාලය පිහිටුවන්නට සිදුවූයේ කැලණි තරුණ බෞද්ධ සංගමයට ගොඩනැගිල්ලක් තැනීමෙන් පසුවයි. අර්බුද වසංගත ආදී විවිධ හේතූන් නිසා පුස්තකාලය තාවකාලිකව වසා දමන්ට සිදු වුණි.
කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි ‍බෞද්ධ අධ්‍යයන අංශාධිපති ආචාර්ය මාකොළ මංගල නාහිමියන් සමිතියේ අනුශාසක ධූරයට පත් වූවාට පසු පුස්තකාලය යළි ආරම්භ කොට කැලණි විශ්ව විද්‍යාලයේ පුස්තකාල විද්‍යා හා විඥාපණ අංශය හවුල්කරගෙන ස්වයංක්‍රීය පුස්තකාලයක් බවට පත්කර ගැනීමට උත්සාහයක් දැරීය. දැනට ඩිවි දශමකරණය හා කොහා ඔටෝමේශන් සිස්ටම් (Koha Automation System) යටතේ මෙම පුස්තකාලය තවදුරටත් නවීකරණය කෙරෙමින් පවතී. දැනට මෙම පුස්තකාලයේ විවිධ විෂයයන් යටතේ සිංහල හා ඉංග්‍රීසි පොත් 10000 කට වැඩි ප්‍රමාණයක් තැන්පත් කර ඇත. මේ සඳහා ලෝකයේ භාවිතා කරන පුස්තකාල හා ප්‍රලේඛන ප්‍රමිතීන්ට අනුව ක්ෂ්‍රේත්‍ර දත්ත වාර්තා අංග සම්පූර්ණ ලෙස පරිගණකගත කොට ස්වයංක්‍රීය ක්‍රමය දක්වා දියුණු කර තිබේ. මෙය 2023 වර්ෂයේ සිට රජයේ ලියාපදිංචි කර ඇත. එහි අංකය NLR/OL/2023/029 වේ.
කැලණි තරුණ බෞද්ධ සංගමයේ කැලණිනෙත පොත.
ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතිය පිහිට වූ මංගල මහා සභා රැස්වීමේ (58/09/07) අතුරු කාරක සභා පිහිටුවීමද ආගමික සමාජසේවක ක්‍රීඩා භූමිය කියවීම් ශාලා ප්‍රචාරක හා ප්‍රකාශන වැඩිහිටි නිවාස මුදල් විනය හා පරිපාලන ආදී වශයෙන් ඒවාට නම්කොට සාමාජිකයින් 5 දෙනා බැගින් පත්කිරීමද සිදුවිය. මෙහිදී ප්‍රචාරක හා ප්‍රකාශන අංශය‍ට පත්කර සිටියේ චන්ද්‍රසිරි කුලරත්න සෝමපාල දිසානායක ඩී.ඩී.හපුආරච්චි බී.ආර්.ජයමාන්න චුලසේන පත්මනාත යන මහත්වරුන්ය.
ප්‍රකාශක අංශය විසින් දහම් පොත් පත්‍රිකා වරින් වර ප්‍රකාශයට පත් කළ අතර මහා කවි ආනන්ද රාජකරුණා මහතා ලියූ "කැලණි නෙත" නැමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරිම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ආනන්ද රාජකරුණා මහා කවියා මෙම පොත "කැලණි නෙත" රචනා කොට ඇත්තේ 1943 දීය. එහෙත් එය ප්‍රකාශයට පත්කොට නොතිබුණි. මෙය රචනා කොට දෙන ලද්දේ කැලණි බෞද්ධ සමිතියේ ආරාධනය පරිදිය.
මෙම කැලණි බෞද්ධ සමිතියේ පලමු සභාපති වූයේ එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධානාචාර්‍යය ලෙස කටයුතු කළ කේ.ඩී.ද.ලැනරෝල් විසිණි. ඔහු කැලණියට නෙතක් තබන්නැ‍යි කැලණි බෞද්ධ සමිතිය ආනන්ද රාජකරුණා මහා කවියාගෙන් කළ ඉල්ලීම එලෙසින්ම ඉටු කළේය.
කැලණි බෞද්ධ සමිතිය
මෙම සමිතිය පටන් ගත්තේ 1943 සැප්තැම්බර් 23 දීය. කේ.ඩී.ද.ලැනරෝල් මහතා කොළඹ නගරයේ හදිසි මරණ පරීක්ෂක නීතීඥ වෝල්ටර් ඩී.පෙරේරා කැලණිය ගම් සභා සභික ඩී.ඇන්.ජයතිලක වරාගොඩ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති පසුව "ලංකාදීප" පුවත්පතේ 2 වන කර්තෘ සහ "දවස" ආරම්භක පුවත්පත් කතෘ ඩී.බී.ධනපාල, එම්පයර් යන්ත්‍රාලයේ හිමිකරු එන්.වී.ජී.අමරසේන, පසුකලෙක ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කර්නල් ඩී.ජී.ඩබ්ලිව්.රාජපක්ෂ, පෑලියගොඩ, ඒ.බවර් සහ සමාගමේ මැනේජර් පදවිය දැරූ ඩබ්ලිව්.එස්.ද.සොයිසා ප්‍රමුඛ පස් දෙනෙකුගෙන් සමන්විත ප්‍රභූ පිරිස විසිනි. රැස්වීම් පැවැත්වුණේ වරාගොඩ ධර්මාලෝක විද්‍යාලයේ දීය.
කැලණි රජමහා විහාරයේ පූජ්‍ය මාපිටිගම ධම්ම රක්ඛිත, පසුගස්කන්ද ගලේ පන්සලේ පූජ්‍ය කැන්දලියද්ද පාළුවේ ඥානමෝලි පූජ්‍ය බඹරැන්දේ සිරි සීවලී පැලියගොඩ ජයතිලකරාමයේ පූජ්‍ය බි.ඥානරත්න යන නාහිමිවරුන් අනුශාසකවරු වූහ.
කිරිබත්ගොඩ රජයේ රෝහල තැනුවේ මෙම සමිතිය විසින්ය. කැලණිය ප්‍රදේශයේ විසූ මෙම ප්‍රභූ පිරිසෙන් සමහරෙක් ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතියට ද එය වෙනස් කිරීමෙන් පසු කැලණි තරුණ බෞද්ධ සංගමයට සම්බන්ධ වූහ.
වසර 20 ගණනක් කේ.ඩී.ද.ලැනරෝල් භාරයේ තිබී, "කැලණි නෙත" අත්පිටපත කැලණි තරුණ බෞද්ධ සමිතියට අයිතිය පැවරීමෙන් පසු 02.09.1966 දින මුද්‍රණය කළේය. කැලණියේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලීය මුද්‍රණ ශාලාධිපති කේ.කේ.පුංචි බණ්ඩා මහතා විසිනි.
කැලණිනෙත ලියූ මහා කවි ආනන්ද රාජකරුණා
කොළඹ කවිය යුග හතරකට බෙදෙයි. ප්‍රථම යුගයට පියදාස සිරිසේන ආනන්ද රාජකරුණා ඇස්.මහින්ද හිමි ජි.පෙරේරා ප්‍රධාන පිරිසක් අයත්වූහ.
ද්විතීය යුගය ජී.බී.අල්විස් පෙරේරා සාගර පලන්සූරිය මීමන ප්‍රේමතිලක විමලරත්න කුමාරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ප්‍රධාන පිරිසයි. හෙළ හවුල් කවියෝ කුමාරතුංග මුනිද‍ාස රැයිපියල් තෙන්නකෝන් අරිසෙන් අහුබුදු දා.දු.න වීරකෝන් හියුබත් දිසානායක ගුණපාල සේනාධීර ඇතුළු පිරිසකි. නිදහස් කවි යුගයට ජී.බී.සේනානායක සිරි ගුණසිංහ ගුණදාස අමරසේකර මහගමසේකර විමල් දිසානායක ප්‍රධාන විශාල පිරිසක් අයත්වූහ.
කැලණිනෙත ලියූ මහා කවි ආනන්ද රාජකරුණා අයත්වන්නේ කොළඹ යුගයේ ප්‍රථම කවියෙකු ලෙසය.
ගුරුවරයෙකු ලේඛකයකු පුවත්පත් සංස්කාරකවරයකු සහ කථිකයකු ද වශයෙන් හෙතෙම ප්‍රසිද්ධය. 1885 පෙබරවාරි 7 වන දා දකුණු පළාතේ අම්බලන්ගොඩ මාදම්පා ගමේදී මෙලොව එළිය දුටු ඔහුගේ සම්පූර්ණ නාමය අගම්පොඩි විජයටවර්ණකුල ඇල්ප්‍රඩ් යන ඉංග්‍රීසි නම වෙනුවට ආනන්ද නාමය ගත්තේ අන්‍යන්ටත් ආදර්ශයක් වන පරිදිය.
ඔහු සිය ජීවන වෘත්තිය ඇරඹුවේ ගුරුවරයෙකු වශයෙනි. සිංහල බෞද්ධයා සිංහල සමය පත්‍රවලද සේවය කළ රාජකරුණා පසුව බෞද්ධයා යන්ත්‍රාලයේ කෘත්‍යාධිකාරි පදවියට පත් වූයේය.
රජ සිරිත් මාලය, නමොතේ මාතා, ගීතානන්ද, ආනන්ද රචනා ඩෙන්හැම් වරුණ රුක්මාවතී කතාව, සිංහල කොඩිය, ජාතික මඟුල් පඩුර, ජාතික බයිලා සින්දු, කැලණි නෙත, වසන්තාගේ ප්‍රථම ජයග්‍රහණය, උතුවන් කන්දේ සර්දියෙල්, කුමරි බඹසර, විජය චරිතය, මනෝ රාජ්‍යය, කවි රස, ඇඳුන සිංහල, දරු නැළවිල්ල, ලංකාඩම්බරය ඔහුගේ කාව්‍ය නිර්මාණ අතර විය.
ජාත්‍යානුරාගයත් ආගම භක්තියත් සදාචාරයත් නඟාසිටුවීම සඳහා කවිය උප‍යෝගී කරගත් ආනන්ද රාජකරුණා ශ්‍රී රූපදේව කවීන්ද්‍ර යන ගරු නාමයෙන් ද පිදුම් ලැබුවේය.
1958 සිට 2022 දක්වා කැලණි තරුණ බෞද්ධ සමිතියේ සභාපතිවරු
1958 – 1969 - ඒ.පී.වීරසිංහ මහතා
1969 – 1970 - කේ.පී.සුමනපාල මහතා
1970 – 1971 - පාලිත වීරසිංහ මහතා
1971 – 1972 - පී.ඒ.පී.පෙරේරා මහතා
1972 – 1977 - කේ.පී.සුමනපාල මහතා
1977 – 1978 - පී.ඊ.පෙරේරා මහතා
1978 – 1993 - කේ.පී.සුමනපාල මහතා
1993 – 1995 - ඩී.පී.සූරියාරච්චි මහතා
1969 – 2000 - කේ.පී.සුමනපාල මහතා
2000 - කේ.ජී.සුමනපාල මහතා
2001 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2002 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2003 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2004 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2005 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2006 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2007 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2008 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2009 - කේ.සේපාල ජයසේන මහතා
2010 - කේ.සේපාල ජයසේන මහතා
2011 - කේ.සේපාල ජයසේන මහතා
2012 - කේ.සේපාල ජයසේන මහතා
2013 - එස්.මුනසිංහ මහතා
2014 - සුමංගල සමරවීර මහතා
2015 - සුමංගල සමරවීර මහතා
2016 - සුමංගල සමරවීර මහතා
2017 - සුමංගල සමරවීර මහතා
2018 - සුමංගල සමරවීර මහතා
2019 - සුමංගල සමරවීර මහතා
2020 - දේව් ශ්‍රී සූරියආරච්චි මහතා
2021 - සේපාල රත්නායක මහතා
2022 - සේපාල රත්නායක මහතා
2023 - විජයසිරි පෙරේරා මහතා
2023 - සේපාල රත්නායක මහතා
2024 - ඩබ්.චන්ද්‍රදාස මහතා
2024 - ජේ.ඒ.හර්ෂණ ජයකොඩි මහතා
2025 - ජේ.ඒ.හර්ෂණ ජයකොඩි මහතා
1958 සිට 2022 දක්වා කැලණි තරුණ බෞද්ධ සමිතියේ ලේකම්වරු
1958 – 1966 - ජිනදාස ඩයස් පතිනායක මහතා
1966 – 1968 - ඩී.පී.සූරියාරච්චි මහතා
1968 – 1970 - ලො.මෙතියස් මහතා
1970 – 1971 - අතුල හෙට්ටිආරච්චි මහතා
1971 – 1973 - ඩී.එන්.ඒ.එස්.රන්දුනු මහතා
1973 – 1975 - ඩී.එස්.ඇඹුල්දෙණිය මහතා
1975 – 1977 - ඩී.එන්.ඒ.එස්.රන්දුනු මහතා
1977 – 1978 - රංජිත් කබ්රාල් මහතා
1978 – 1992 - ඩී.එස්.ඇඹුල්දෙණිය මහතා
1992 – 1995 - වී.කේ.ජී.ඒ.පෙරේරා මහතා
2000 - ඩී.එස්.ඇඹුල්දෙනිය මහතා
2001 - ගාමිණී බාලසූරිය මහතා
2002 - ගාමිණී බාලසූරිය මහතා
2003 - ගාමිණී බාලසූරිය මහතා
2004 - ගාමිණී බාලසූරිය මහතා
2005 - ගාමිණී බාලසූරිය මහතා
2006 - ගාමිණී බාලසූරිය මහතා
2007 - ගාමිණී බාලසූරිය මහතා
2008 - ගාමිණී බාලසූරිය මහතා
2009 - ගාමිණී බාලසූරිය මහතා
2010 - ඩී.එම්.කේ.දිසානායක මහතා
2011 - පී.එස්.කණිෂ්ක සමරසේන මහතා
2012 - පී.එස්.කණිෂ්ක සමරසේන මහතා
2013- ඩී.එස්.ඩී.සූරියාරච්චි මහතා
2014 - එන්.ජී.වීරසේකර මහතා
2015 - කේ.ඩී.බන්දුසේන මහතා
2016 - කේ.ඩී.බන්දුසේන මහතා
2017 - කේ.ඩී.බන්දුසේන මහතා
2018 - කේ.ඩී.බන්දුසේන මහතා
2019 - කේ.ඩී.බන්දුසේන මහතා
2020 - එස්.ඒ.ඩී.නිමල් පෙරේරා මහතා
2021 - ජේ.ඒ.හර්ෂණ ජයකොඩි මහතා
2022 - ජේ.ඒ.හර්ෂණ ජයකොඩි මහතා
2023 - ජේ.ඒ.හර්ෂණ ජයකොඩි මහතා
2024 - ජේ.ඒ.හර්ෂණ ජයකොඩි මහතා
2024 - සුබෝධ එම්. මලවරආරච්චි මහතා
2025 - වයි.ඒ. අරුණ ධම්මික කරුණාරත්න මහතා
1958 සිට 2025 දක්වා කැලණි තරුණ බෞද්ධ සමිතියේ භාණ්ඩාගාරිකවරු
1958 – 1959 - ඩී.පී.සූරියආරච්චි මහතා
1959 – 1964 - කේ.එච්.ජිනසේන මහතා
1964 – 1978 - සේන කවිකාර මහතා
1978 – 1989 - සිරිල් සේනානායක මහතා
1989 – 2010 - රංජිත් ගාමිණී කවිකාර මහතා
2010 – 2011 - ඒ.පියසිරි මෙන්ඩිස් මහතා
2011 – 2012 - එච්.ඩී.රණවක මහතා
2013 - වෛද්‍ය ජයන්ත කබ්රාල් මහතා
2014 – 2019 - ඩබ්.එම්.කීර්ති බණ්ඩාර මහතා
2020 – 2021 - ජී.එම්.කරුණාතිලක බණ්ඩාර මහතා
2021 – 2022 - යූ.පී.ජී.උඩදෙණිය මහතා
2022 – 2023 - එස්.ඒ.ඩී.නිමල් පෙරේරා
2023 සිට - අසිත පුෂ්ප කුමාරපේලි මහතා
කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාසාරාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ
(සමිතිය පිහිටුවිමට මුල්වූ කිරිවත්තුඩුවේ නාහිමියෝ)
කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතිය පිහිටුවිමට මුල් වූ පිරිස ඒ සඳහා උපදෙස් ගත්තේ ප්‍රදේශයේ පළාතේ විහාරස්ථානවල වැඩවිසූ විහාරස්ථානාධිපති, පරිවේණාධිපති, වැනි යතිවරයන් වහන්සේලාගෙන්ය. කැලණි රජමහා විහාරස්ථානය, විද්‍යාලංකාර පිරිවෙණ, කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමය, සපුගස්කන්ද රජමහා විහාරය, තැඹිලිගස්මුල්ල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය, බියන්විල මංකඩ පුරාණ රජමහා විහාරය, ආදි පූජනීය ස්ථාන මේ සඳහා මූලික නම් වශයෙන් හඳුන්වාදිය හැකිය.
කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි
කොටහේනේ ප්‍රඥාකීර්ති නාහිමි
කැන්දලියද්ද පාළුවේ ඥානමෝලි නාහිමි වැනි යතිවරයන් වහන්සේලා සමිතිය සංවිධානය කිරීමෙන් මේ බව පැහැදිලිය.
මූලික සාකච්ඡාවේ හා ආරම්භක රැස්වීමේදී මුලසුන හෙබවූ කිරිවත්තුඩුවේ මහානායක හිමියන් වහන්සේ ගැන මෙහිදී කෙටියෙන් හෝ හැඳින්වීමක් මෙසේ සඳහන් කරමු.
ආගම චක්‍රවර්තී (විද්‍යෝදය විශ්ව විද්‍යාලය), සාහිත්‍යසූරී (ඩී.ලිට් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය), ත්‍රිපිටක වාගීශ්නරාචාර්ය උපාධ්‍යාන පණ්ඩිත, කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥසාර්භිධාන, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි සම්මාන උපකුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධ්‍යාපනයෙහි මෙන්ම ධර්ම ප්‍රචාරයෙහි ද මහත් වගකීම් භාරයක් දැරූ උතුමෙකි. එබදු කාර්ය බහුල වූවෙකු ග්‍රන්ථ කරණය සඳහා ලැබෙන ඉඩකඩ ඉතා ස්වල්ප ය. එහෙත් අ්‍යාපනඥයෙකු ද ධර්මානුශාසකයෙකු ද වශයෙන් දිවයින පුරා පැතිර ගිය කීර්ති කදම්බයකින් හෙබි වූ උන්වහන්සේ ජනප්‍රිය ධර්ම දේශකයින් අතර ද ව්‍යක්ත කථිකයන් අතර ද විශිෂ්ට පඬිවරුන් අතර ද ගරු සම්භාවනීය තත්ත්වයක් ඉසුලූහ. උන්වහන්සේ නොවැඩි ධර්ම මණ්ඩපයක් හෝ ප්‍රසිද්ධ සභාවක් හෝ වැදගත් බෞද්ධ උත්සවයක් හෝ නැත. විද්‍යාලංකාර පිරුවන්හි ද බෙලිගම්මන විද්‍යාවර්ධන පිරුවන්හි ද වීරහේනේ විද්‍යාරත්න පිරුවන්හි ද ශිෂ්‍ය ජීවිත ගතකළ උන්වහන්සේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම රත්මලානේ ශ්‍රී ධර්මානන්ද නායකමාහිමියන් වහන්සේලාගේ පරිවේනාධිපතිත්වය පැවති කාලයන් විද්‍යාලංකාර පිරුවන්හි ආචාර්යවරයෙකු වශයෙන් පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන්ද බොහෝ කලක් ක්‍රියා කොට විද්‍යාලංකාර පිරුවන්හි උපප්‍රධාන පදවියට පත්ව අතිවිශාල ගිහිපැවිදි පිරිසකට ඉගැන්වූහ. උන්වහන්සේ ලංකා මහාබෝධි සමාගමේ ආරාධනාවෙන් බුද්ධගයාවට වස් විසීමට වැඩම කළහ. එහිදී පාළි භාෂාවෙන් ධර්ම දේශනා කළ උන්වහන්සේට තම සංස්කෘතභාෂාඥානය ද උපයෝගී විය. මාහිමියන්වහන්සේලාගේ ආශ්‍රය නිසා ව්‍යක්ත බහුශ්‍රැතභාවයට පත්ව වාක්චාතූර්යයෙන් අනූනව ලාංකිකයන්ගේ මහත් ප්‍රසාදයට ලක්වූහ.
YMBA පරමාර්ථ කියාදුන් කොටහේනේ නායක හාමුදුරුවෝ
කිරිබත්ගොඩ කැලණිය තරුණ බෞද්ධ සමිතිය පිහිටුවීමට පෙර බෞද්ධ සංවිධානයක් ප්‍රදේශයට ඇති කිරීමට මූලික වූ මහා යතිවරයෙකු ලෙසට පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති මාහිමියෝ හැඳින්විය හැක. එදා සංවිධානයේ මූලික රැස්විමේදී පිහිටුවන්නට යන සමිතිය පරමාර්ථ මෙසේ විය යුතු යැයි වදාළේ උන්වහන්සේය. බුදුදහම පිළිපැදීමට උනන්දු කරවීමට ඒ සඳහා පහසුකම් ඇති කළ යුතු යැයි ද බුදු දහම ඉගෙන ගැනිමටත් ඉඩකඩ සැලසිය යුතුයැයිද බෞද්ධයන් තුළ සදාචාරය සංස්කෘතිය ඇති කළ යුතු යැයි ද පූජ්‍ය පඤ්ඤාකිත්ති මාහිමියෝ සමිතියේ මූලික පරමාර්ථ වශයෙන්ද පෙන්වා දුන්හ.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි ආගමික අධ්‍යාපනය ලබමින් එහි අභිවෘද්ධිය තකා අනුපමේය මෙහෙවරක නියැලී කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියෝ කිසි ලෙසකින් නුදු තරුණ බෞද්ධ සමිතියට අමතක කළ නොහැකිය.
ව්‍යක්ත ලේඛකයෙකු වශයෙන් පතළ ප්‍රාචීන ප්‍රතිචීන භාෂා කිහිපයක ප්‍රවීණ පඤ්ඤාකිත්ති හිමියෝ විද්‍යාලංකාර පරිවේණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ධර්මකීර්ති ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකි. මෛත්‍රිය බුද්ධගුණාලංකාර කාව්‍යයෙහි කර්තෘ පරලෝ සැපත් ඕ.ඩී.ලෝරන්ස් මහතාගේ එකම පුතණුවෝය.
කේ.පී.සුමනපාල මහතා
කේ.පී.සුමනපාල මහතාගේ සම්පූර්ණ නම කුකුලගේ පෙරේරා සුමනපාලය. ඔහු උපන්නේ 1915 මාර්තු 11 වන දිනය. එතුමාගේ පියා වාද්දුවේ අරනෝලිස් පෙරේරා වූ අතර මව ලියනගේ දෝන ඇග්නස් ලලිතා සිලවතී වූව‍ාය. ‍
සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලක හතරවැනියා ලෙස උපන් කේ.පී.සුමනපාල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වාද්දුවේ ගමේ කණිෂ්ඨ පාසලෙනි. 1923 දි කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වූ ඔහු පාසැල් ගියේ ආවේ අශ්ව කරත්තයෙනි. ආනන්දයේදී ඔහු විශේෂයෙන් කෙඩේටිං අංශයෙන් සහ වෙඩි තැබීම අංශවලින් දස්කම් පෑවේය. එවකට විදුහල්පතිව සිටියේ පී.ද.ඇස්.කුලරත්න මහතාය. පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ පන්ති භාර ගුරුතුමා වූහ. ආනන්ද විද්‍යාලයෙන් කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් සමත් වූ පසු කොළඹ උසස් අධ්‍යාපන ආයතනයක් වූ පෙම්බ්‍රොක් විද්‍යාලයෙන් ඉහළ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවේය.
1935 දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන ලද රජයේ මිනුම්දෝරු විභාගයෙන් සමත්වූ සුමනපාල මහතා වයස 21 දී සැළසුම්කරුවෙකු ලෙස රජයේ ‍සේවයට බැදුණි.
කේ.පී.සුමනපාල මහතාගේ පියා මේ වන විට කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු විය. එතුමා විසින් පවත්වාගෙන ගිය ව්‍යාපාරය 1944 වන විට පසුබැස්මක් ඇතිවූයේ පියාට බලපෑ සෞඛ්‍ය හේතූන්ය. වසර අටක් රජයේ සේවයේ නියුතු කේ.පී.සුමනපාල මහතා දින දෙකක දැනුම් දීමකින් රාජකාරියෙන් ඉල්ලා අස්වී පියාගේ ව්‍යාපාරය තමාගේ අතට ගත්තේය.
1944 ව්‍යාපාරය තමා‍ගේ යටතට ගන්නා විට ආයතනය සතු එකදු වාහනයක් වත් නොවීය. වාහනවලට තිබුණේ හරක් බඳින ගොන් කරත්ත පමණි. මෙම ව්‍යාපාරය ඉරන ලද ලී අළෙවි කරන ආයතනයකි.
1945 වසරේ කිරිබත්ගොඩ, මාකොල, මංකඩ පාරේ භූමියක් මිලට ගත් සුමනපාල මහතා එහි සුවිසල් නිවසක් ඉදි කළේය. ව්‍යාපාර කටයුතු සේම සමාජ සේවය පටන්ගත්තේ එහි සිටය. සෑම ඉරු දිනකම ප්‍රදේශවාසීන් සියයකට ආසන්න පිරිසකට මුදල් හා වියලි සලාක බෙදා හැරීම ඔහුගේ ආරම්භක සමාජ සේවයයි. 1950 දී මාකොල මරණාධාර සමිතියක් ආරම්භ කළේ මහර ආදායම් පාලක නිලධාරීන් ජිනදාස ඩයස් පතිනායක මහතා සමඟය. තමාටම ගැලපෙන අදහස් ඇති ජිනදාස ඩයස් පතිනායක සමඟ එකතු වී ජනතා කොමිටි,ථ ප්‍රජාමණ්ඩල, ග්‍රාම සංවර්ධන සමිති, අවමංගල්‍ය ආධාර සමිති ආදී සමාජ සේවා සංවිධාන රාශියක් ඇති කළ මේ මිත්‍ර සුසංයෝගය මල්පළ ගැන්වීම "කැලණි තරුණ බෞද්ධ සමිතිය" ලෙසට හැඳින්විය හැකිය.
සුමනපාල මහතා උපන් කළුතරට ආසන්න වාද්දූවේ පිහිටි කෙත්තාගාරය මහගෙදර ඔහු විසින් වාද්දුව තරුණ බෞද්ධ සමිති මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලය වෙනුවෙන් පරිත්‍යාග කළේය. මාකොල වැවේවත්තේ අධිපති වූ සුමනපාල මහතා 1945 දී මාකොල ගම්මානයට විදුලි ආලෝකය ලබා දුන්නේය. එවකට සපුගස්කන්ද රජමහා විහාරාධිපති (ගලේ පන්සල) භාරතීය ධර්ම කීර්ති ශ්‍රී කැන්ද ලියද්ද පාළුවේ ඥාණමෝලි නායක ස්වාමීන් වහන්‍සේ, වෛද්‍යාචාර්ය විජේසුන්දර කුකුල්පනේ රාළහාමි, දාසානායක පාඨශාලාචාර්යතුමා, සෞඛ්‍ය පරික්ෂක ජෝර්ජ් ගුණරත්න මහතා, ඊ.ඒ.පී‍.පෙරේරා යන අය මොහුගේ සමාජ සේවා වැඩවලට උරදුන් අය ලෙසට සඳහන් වේ.
මාකොල ගම්මානයේ නම ලංකාව පුරා ප්‍රචාරය කරමින් පිටරටින් ගෙන්වූ නිෂ්පාදනවලට දෙවැනි නොවී දේශීය අමුද්‍රව්‍ය යොදා මාබල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේය. එහි නම වූයේ මා කොලයිට් මාබල් ජනප්‍රිය වූ අතර රටේ ජනතාව සුමනපාල මහතා හඳුන්වන්නට වූයේ මා කොලයිට් මහත්තයා ලෙසය.
මාකොල වැවේ කැලේ වත්තෙන් පර්චස් 30 බැඟින් ඉඩම් කැබලි 6 ක් ඔහු තම ඥාතීන්ට පරිත්‍යාග කළේය. පර්චස් 10 බැඟින් කඩා වෙන්කොට තම ව්‍යාපාරයට අතහිත දුන් අයට මෙන්ම සේවකයන්ට පරිත්‍යාග කළේය. එපමණක් නොව එම ඉඩම්වල ගෙවල්ද තනා දුන්නේය.
සමිතියේ සංවිධාන කටයුතු කළ කැන්දලියැද්ද පාළුවේ නාහිමි
කැන්ද ලියැද්ද පාළුවේ ඥානමෝලි නායක හාමුදුරුවෝ සපුගස්කන්ද (ගලේ පන්සලේ) විහාරාධිපතිව වැඩසිටි කාලයේ කැලණි තරුණ බෞද්ධ සමිතිය පිහිටුවීම මුල්ම කටයුතු කළ බව සමිතියේ ආරම්භක වාර්තා පොත්වල සඳහන්ව තිබේ. සමිතිය පිහිටුවීමට පෙර පැවති ආරම්භක රැස්වීමේදී උන්වහන්සේ සමිතියේ සංවිධානය ගැන
පුළුල් වශයෙන් අනුශාසනා කර ති‍බේ. උන්වහන්සේගේ ජීවන තොරතුරු මතු පරපුර වෙනුවෙන් මෙසේ ලියා තබමු.
කැන්දලියැද්ද පාළුවේ ශ්‍රී ඥානමෝලි නායක ස්වාමීන්ද්‍රයෝ (1934 / 1968)
පසුගිය යුගයේ සපුගස්කන්ද විහාරයේ අධිපති ධූරයට පත්ව විහාරස්ථානයේත් ප්‍රදේශයේත් අභිවර්ධනය පිණිස විශිෂ්ඨ සේවාවක් සිදු කළ කීර්තිමත් හිමිනමකි. භාරතීන්ද්‍ර ධර්මකීර්ති ශ්‍රී යන ගෞරව නාමය සහිත සියනෑ අලුත් කූරු හේවාගම් යන කෝරළ තුනේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද කැන්දලියැද්ද පාළුවේ ශ්‍රී ඥානමෝලි නායක ස්වාමින්ද්‍රයෝ උන්වහන්සේ ඝණ්ඨාරස්තම්භය සහිත ධාතු මන්දිරය පිහිටුවා ලූහ. ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරය ඇරඹූහ. ස්ථානය යටතේ පැවති පාසැල් දියුණු කළහ. විවීන් පාසල් මැහුම් පාසැල් ඇති කළහ. උගතෙකු දක්ෂ කථිකයෙකු විචිත්‍ර ධර්ම දේශකයාන කෙනෙකු ප්‍රියතාවයට පාත්‍රව සිටි සපුගස්කන්ද නාමය කිර්තිමත් කළ මේ ස්වාමි පාදයෝ විශ්ෂ්ඨ සේවාවක් සිදුකොට වදාළහ. රටට හිතැති වටිනා පුද්ගලයන් බොහෝ දෙනෙක් අප නාහිමියන් වහන්සේ ඇසුරෙන් බිහිවූහ. දුබලයාට මෙන්ම ප්‍රභලයාට ද උන්වහන්සේගේ සහය අවශ්‍ය විය.
රටේ ජාතික ආගමික සාමාජික සේවාවන්හි පුරෝගාමී වූ අප ශ්‍රී ඤානමෝලි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හා එක්වකළ සමකාලීන කීර්තිධර ගිහි පැවදි උතුමෝ බොහෝ වෙති. ඒ අතර අතිගරු පරවාහැර වජිරඥාන මාහිමි පැලැනේ සිරිවජිරඥාන මාහිමි කරපුටුගල සිරිධර්මාලෝක මා හිමි කළුකොදයාවේ සිරි පඤ්ඤාසේකර මහානාහිමි කිරිවත්තුඩුවේ ශ්‍රී පඥ්ඥාසාර මාහිමි පළන්නොරුවේ ශ්‍රී විමලධම්ම මාහිමි දෙහි ගස්පේ පඥ්ඥාසාර මාහිමි බලංගොඩ ශ්‍රී ආනන්ද මෛත්‍රී මහානාහිමි හීනිටියන ධම්මාලෝක මහානාහිමි කළල් ඇල්ලේ ආනන්ද සාගර මහා නාහිමි වල්පොල ශ්‍රී රාහුල හිමි යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම මාහිමි කොටහේනේ පඥ්ඤාකිත්ති මාහිමි බඹරැන්දේ සිරි සීවලී මාහිමි ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි මොට්ටුන්නේ ඉන්ද්‍රසාරමාහිමි තල්පාවිද සීලවංශ හිමි ආදී සුපතල කිතු‍ගොස් ඇති මාහිමිවරයන් වහන්සේල‍ාද වෙති. කැලණි රාජමහා වෙහෙරපතිව වැඩවිසූ මාපිටිගම සිරිධම්ම රක්ඛිත මාහිමි ඉතා ලඟින් ඇසුරු කළහ. සපුගස්කන්ද හා ඉතා සම්බන්ධ කිරිබත්ගොඩ සිටි සුදර්ශනාරාමාධිපති විරඟුලේ සිරි සරණ තිස්ස මාහිමිපාණන් වහන්සේ ද අප නාහිමි පාණන් වහන්සේව ඉතා ලැදිකමින් පුරෝගාමී මහාතෙරුන් වහන්සේ ලෙස සැලකූහ.
එෆ්.ආර්.සේනානායක සර් ඩී.බී.ජයතිලක ඩී.ඇස්.සේනානායක ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක ඩඩ්ලි සේනානායක ජනපති ජේ.ආර්.ජයවර්ධන ජී.පී.මළලසේකර ඈ ජාතීන් හිතෛයිෂී යන නායකයන්ද ලගින් ඇසුරු කළහ. විවිධ අංශවල සේවාවන් සිදු කළ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් නොයෙක් තරාතිරම්වල ගිහිපැවදි ප්‍රභූ බවතුන් ඇසුරුකරමින් අප නායක හිමියන් වහන්සේ විසින් කළ සේවාවන් පොදු ජනහිත සුව පිනිස විය. බුදුසමයේ ජාතියේ සංස්කෘතියේ ශිෂ්ඨාචාරයේ අභිවෘද්ධිය සඳහා විය.
සමිතියට මුල්ගලක් වූ ආර්.ජී.සේනානායක
1947 ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී වූ ඩී.ඩී.කරුණාරත්න මුදළිතුමාට අයත් නුවරපාරේ තලවතුහේන්පිට (කිරිබත්ගොඩ වගාවෙන් තොර කැලෑ ඉඩමෙන් අක්කර 18 ක් නිවාස දෙපාර්තමේන්තුව මිලට ගත්තේ (1954) නිවාස යෝජන‍ා ක්‍රමය ඉදිරිකිරීමටය. ඉන් අක්කරයක් යාබද ඊරියවැටිය පාසලට පවරා දුන්නේය. ඉතිරි අක්කර (17) දාහතේ පර්චස් 15/2 ප්‍රමාණය බැගින් නිවාස ඉදිකරන අතර නුවර පාර අයිනේ මඩ වගුරක් නිසා රූඩ් 3 පර්චස් 8 ක් වැඩකට ගත නොහැකිව ඔහේ පල්වෙවී තිබුණි.
මේ කාලයේ (1958) ඩී.ආර්.ඕ කන්තෝරුව තිබුණේ මහරය. ගාල්ලේ යටලවත්තෙන් ආ ජිනදාස ඩයස් පතිනායක මහතා එහි ග්‍රාම සංවර්ධන නිලධාරීවරයාය. ඉඩම් පිළිබඳ නිලධාරියා ද ඔහුමය. දිනක් ආදායම් පාලක නිලධාරී කාර්යාලයේ පතිනායක මහතා අතට ලිපියක් ලැබුණි. කතෝලික පල්ලියක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම් කෑල්ල ලබාදෙන ලෙස එයින් ඉල්ලා තිබුණි. පතිනායක මහතා වහාම ගොස් කැලණිය මන්ත්‍රී ආර්.ජී.සේනානායක මහතාට එම ලිපිය දුන්නේය. ආර්.ජී.පතිනායක මහතාට කීවේ වහාම බෞද්ධ සමිතියක් පිහිටුවා මෙම ඉඩම මිලට ගන්නා ලෙසය. ශ්‍රී කල්‍යාණි බෞද්ධ සමිතිය පිහිට වූයේ ඒ අනුවය. මෙම සමිතිය මාසයකට පසුව කැලණි තරුණ බෞද්ධ සමිතිය බවට පත් වී නිවාස දෙපාර්තමේන්තුවෙන් ඉඩම මිලට ගත්තේය. කැලණිය මන්ත්‍රී ආර්.ජි.සේනානායක මහතා YMBA සමිතියට උදව් උපකාර කළත් අඩුම වශයෙන් උපදේශක
තනතුරක්වත් භාරගත්තේ නැත. කැලණියේ දැනට ජීවත් වන වයස අවුරුදු 80 ට වඩා වැඩි කිසිවෙකු හොඳ කල්පනාවෙන් සිටීනම් ඔවුන් මේ කථාව දනිති.
ආර්.ජී‍.සේනානායක (රිචඩ් ගෝඨාභය සේනානායක) දේශබන්දු ඇප් ආර්.සේනානායක හා ඇලන් ආටිගල මැතිණියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යපනය ලැබුවේය. බැරිස්ටර් විභාගය සමත්ව ලංකාවට පැමිණියේය.
මස්සිනා වූ සිරිපාල සමරක්කොඩි මැතිතුමා‍ගේ හදිසි වියෝවෙන් හිස් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නාරම්මල අසුනට ආර්.ජී.සේනානායක මහතා පත්වූයේ 1944 දීය. ඉන්පසු 1947 දී නිදහස් ලංකාවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී දඹදෙණි ආසනය වෙනුවෙන් ඉදිරිපත්ව දඹදෙණි අසුන ජයග්‍රහණය කළා පමණක් නොව 1949 දී ඩී.එස්.සේනානායක අගමැතිතුමාගේ උප ඇමති වශයෙන්ද පත්විය. යළි 1952 මහා මැතිවරණයේදි දඹදෙණිය අසුන නැවතත් ජයග්‍රහණය කොට ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ වෙළෙඳ ඇමති වශයෙන්ද පත්විය. 1953 දී එම රජය ජනතා කුසගින්න ගැන නොතකා සහල්මිල වැඩිකළ අවස්ථාවෙහි දී අභීතව නැගී සිටි එතුමා තනියම සහල් මිල වැඩිකිරීමට විරුද්ධව සටන් කර අවසානයේදී කළ කිරීමට පත්වී රටද අතහැර ගියේය. ඉන්පසුව ඇති වූ හර්තාලයෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය. ශ්‍රී මත්ජෝන් කොතලාවල මහතා අගමැති වීමෙන් පසුද නැවතත් වෙළඳ ඇමති වශයෙන් ආර්.ජී.සේනානායක මහතා පත්කර ගන්නා ලද නමුත් එම රජයේ දෙමළ භාෂාවට සමතැනදීමට යාමේදී ඊට ප්‍රතිවිරුද්ධව නැගී සිටියා පමණක් නොව ඇමති ධූරයෙන් ද ඉල්ලා අස්විය. 1956 පැවති මැතිවරණයේ දී කැලණි දඹදෙණි සටන අරඹා එවකට තිබූ රජය බලවත් ලෙස විවේචනය කළේය. මෙම සටන ඇරඹුවේ භාෂා ප්‍රශ්නය ඉන්දියානු ප්‍රශ්නය මධ්‍යම ප්‍රතිපදාව රැකීම සහ සියෝටෝ යුධ කදවුර පිළිබඳ ප්‍රශ්නය වන ගිවිසුම පිළිබඳ ප්‍රශ්නය නැව් සමාගම් ප්‍රශ්නය යන ප්‍රශ්න පහක් මතය. 1956 දී බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයටත් එක්සත් ජාතික පක්ෂයේ අන්ත පරාජයටත් ප්‍රධාන ලෙස බලපෑවේ කැලණි දඹදෙණි සටනය. බණ්ඩාරනායක මහතා ඉහත කී ප්‍රශ්න විසදීමට සිය කැමැත්ත ප්‍රකාශ කළෙන් සති දෙකක් සාකච්ඡාවකින් පසු එම රජයේ වෙළඳ ඇමති පදවිය ආර්.ජී.සේනානායක මහතා භාරගන්නා ලදී.

1953 චීනය සමඟ සහල් - රබර් ගිවිසුම ඇතිකලා.
1969 දී පමණ ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් අකකර 300 තම ධනයෙන් මිලදීගෙන, සිංහල ජනයා පදිංචි කලේය.

කර්තෘවරයා: පී. එම්. සේනාරත්න